colombo-port-bangladesh

කොළඹ වරායේ නිශ්චිතව හඳුනාගත් ස්ථානයක් යම් කොන්දේසිවලට යටත්ව බංගලාදේශයට ලබා දීමට තමා එකඟ වූ බව වරාය නාවික හා ගුවන් සේවා ඇවැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.  බංගලාදේශය වෙළෙඳ සම්බන්ධතා පැවැත්විය යුතු පාර්ශ්වයක් ලෙස සලකා මෙම තීරණය ගත් බවද ඇමැතිවරයා කීය. බදුල්ල කැපිටල් සිටි හෝටලයේ 24 වැනිදා පැවැති සමස්ත ලංකා මුස්ලිම් තරුණ සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.



බංගලාදේශයේ පැවැති ඉන්දිය සාගර පිළිබඳව සමුළුවේ ප්‍රධාන දේශනය කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තමා සහභාගි වූ බවත් ඉන්දියාව පකිස්ථානය පමණක් නොව බංග්ලාදේශය සමග ද වෙළඳ සම්බන්ධතා පැවැත්විය යුතු බවත් ඇමැතිවරයා කීය.  යම් කොන්දේසිවලට යටත්ව කොළඹ වරායේ නිශ්චිත හඳුනාගත් ස්ථානයක් බංග්ලාදේශය ලබාදීමෙන්  කොළඹ හා චිතගොන් වරායන් අතර භාණ්ඩ හුවමාරුව පිළිබඳව සුවිශේෂී මධ්‍යස්ථානයක් ඇති වෙන බව ද ඇමැතිවරයා කීය. චිතගොං වරාය ඉතා දියුණු වරායක් බවට නුදුරු අනාගතයේ දී පත්වනු ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.
බදුල්ල පාලිත ආරියවංශ