colombo-school-girl-abuse

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක පස්වැනි ශ්‍රේණියේ බාලවයස්කාර දැරියක කිසියම් අයකු දුම්වැටියකින් පුළුස්සා බියට පත් කර  දූෂණය කිරීමේ සිද්ධියකට අදාළව නඩුවක් ඊයේ විභාග විය.

මෙම දැරිය අවස්ථා කිහිපයකදීම දූෂණයට ලක්ව ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවේ සඳහන්ව තිබූ බව වැල්ලම් පිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.


දැරියගේ හැසිරීම් රටාවේ වෙනසක් නිරීක්ෂණය වන බව සඳහන් කරමින් ඇගේ පන්ති භාර ගුරුවරිය විසින් දැරිය රැගෙන එනු ලැබූ බවත්, පසුව දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමෙන් පසු මෙම කරුණු අනාවරණය වූ බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම දැරියගේ සිරුරේ ස්ථාන කිහිපයක දුම්වැටියකින් පුළුස්සා ඇති පිලිස්සුම් තුවාල කැළැල් පවා දක්නට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවේද සඳහන්ව ඇති බවත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
තමාට මෙම අපරාධය කළේ අදාළ පාසල අවට පිහිටි පිරිමි පාසලක ශිෂ්‍යයකු බවට සඳහන් කරමින් පිරිමි ළමයකුගේ නමක් වින්දිත දැරිය කිරීමට ප්‍රකාශ කළ බවත් ඒ අනුව එම පාසලේ සිටින එම නාමය සහිත සෑම ශිෂ්‍යයකුම පොලිසියට ගෙන්වා

දැරියට මුණ ගැස්වූ බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. එහෙත් දැරිය ඒ කිසිවකු හඳුනා නොගත් බවත් ඒ අනුව මෙම අපරාධය කළ සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.


 එම දැරිය කොළඹ රිස්වේ ආර්යා ළමා රෝහළට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) වැල්ලම්පිටිය පොලීසියට නියෝගයක් නිකුත් කර ඇත.

මහේස්ත්‍රාත්වරයා වැල්ලම්පිටිය පොලීසියට මෙම නියෝගය නිකුත් කළේ, වින්දිත දස හැවිරිදි වියේ පසුවන බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව
සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

එමෙන්ම වින්දිත දැරිය ඇයගේ මව භාරයේ කොළඹ රිජ්ගේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර යොමු කරන ලෙසට අධිකරණය වැල්ලම්පිටිය පොලීසියට දැනුම් දුන්නේය.

- නිමන්ති රණසිංහ