deniyaya-exam-issue

දෙනියාය, පල්ලෙගම විද්‍යාලයේ පැවැති අ.පො.ස . සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේ දී‍ සිය වැඩිමහල් සහෝදරයා වෙනුවට සිංහල ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට සූදානම්වූ ඔහුගේ බාල සහෝදරයකු විභාග ශාලාධිපතිවරයා කළ පැමිණිල්ලකට අනුව පෙරේදා (08) අත් අඩංගුවට ගත් බව දෙනියාය පොලීසිය කියයි.

සිය වැඩිමහල් සොයුරා මෙවර පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට දෙමළ මාධ්‍යයෙන් දෙවැනි වරට මුහුණ දී ඇති අතර පෙරේදා (08) පැවැති දෙවන බස සිංහල විෂය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවිමට

ඔහුගේ බාල සහෝදරයා විභාග ශාලාවට පැමිණ ඇති අතර මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සැක සිතුණු ස්ථානාධිපතිවරයා ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම සැකකාර සිසුවා සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන කාර්යාලයට දැනුම් දී ඇති අතර දෙනියාය පොලිස් ස්ථානයට දැනුම් දීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

විභාගයට පෙරේදා (08) තෙක් පෙනී සිටි දෙමළ මාධ්‍ය සිසුවාට ඔහුගේ දෙවැනි
බස වන සිංහල විෂය හරිහැටි නොදැනීම හේතුවෙන් ඔහුගේ බාල සොහොයුරා විභාගයට පිළිතුරු ලිවීමට යොදවා ඇති බව පොලීසිය කියයි.


විභාගයට අන් අයකු ලෙස පෙනී සිටි පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරා විභාග මධ්‍යස්ථානයට ගෙන්වා දෙදෙනාගේම ජාතික හැඳුනුම්පත් පරීක්ෂා කර ඇති අතර අත්අඩංගුවට ගත් බාල සොහොයුරා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (09) ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය, එන්සල්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු පෞද්ගලික ආයතනයක සේවය කරන අයකු බව මුලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.