දින පහක බැංකු නිවාඩුවේ අරමුණ දේශිය ණය ප්‍රතිව්‍යූහගත කිරීම බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ආගන්තුක අත්දැකීමක් වන ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන විවිධ වැරැදි මතද සමාජගත වී තිබේ. මේ නිසා ණය බර අඩු වන බවත්, පොලී අනුපාතය පහළ ගොස් ආර්ථිකය සක්‍රිය වන බවත් ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු මෙසේ පෙන්වා දෙයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරන්න කලින් දේශිය හා විදේශිය ණය සංයුතිය ගැන විස්තරයක් කළ හැකිද?
රුපියල අවප්‍රමාණය වීමත් සමඟ දේශිය හා විදේශිය ණයවල අගය ඉතා වේගයෙන් වෙනස් වෙනවා. මහ බැංකුව පසුගිය මාර්තු මාසයේ ඉදිරිපත් කළ දත්තවලට අනුව දළ වශයෙන් ගත් විට දේශිය ණය හා විදේශිය ණය 50:50ක් පමණ වෙනවා. භාණ්ඩාගාර බිල් පත් මඟින් ගත් රුපියල් ණය ප්‍රමාණය ට්‍රිලියන 4.1ක් පමණ වෙනවා.
භාණ්ඩාගාර බැඳුම්කරවල රුපියල් ණය ප්‍රමාණය ට්‍රිලියන 8යි. තවත් අමෙරිකානු ඩොලර් බිලියනයක් අනෙකුත් දේශීය ණය හිමියන්ගෙන් ගෙන තිබෙනවා. මේ සියල්ලගේම එකතුව විදියට අමෙරිකානු ඩොලර් බිලියන 36ක දේශීය ණය රජය ගෙන තිබෙනවා.
ඒ වගේම රටවල් අතර ගත් ද්විපාර්ශ්වික ණය ලෙස අමෙරිකාව, චීනය ආදී රටවලින් අමෙරිකානු ඩොලර් බිලියන 10.6ක්, ස්වෛරීත්ව බැඳුම්කරවල බිලියන 20ක් හා ස්වැප් පහසුකම යටතේ බිලියන දෙකක් ගෙන තිබෙනවා. එයට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් හා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 11.5ක ණය ගෙන තිබෙනවා. මේ ආකාරයට අපේ සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වෙනවා.
දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් හැර වෙන විසඳුමක් නැද්ද?
වෙන විකල්ප තියෙනවා. නමුත් මේ ප්‍රශ්නය දිහා බලද්දි අපේ ණය සංයුතිය ගැනත් සැලකිය යුතුයි. ප්‍රතිව්‍යුහගත කිරීමකදි හැම කෙනාම වගේ ඉවත් වෙන්න හදනවා. එහෙම කරන්න බැරිව එකතු වෙන්න සිදු වුණොත් පුළුවන් තරම් පිරිසක් එකතු කර ගන්න බලනවා. එහෙම කළොත් ණය කපා හැරීම බෙදිලා යනවා. දැන් උදා වෙලා තියෙන්නෙ ඒ වගේ අවස්ථාවක්.
ණය බර වැඩි වෙලා ණය ගැතියා නැත්තටම නැති වෙලා යනවට කිසිම ණය හිමියෙක් කැමැති වෙන්නෙ නැහැ. එහෙම වුණොත් දීපු ණයත් ගන්න බැරි වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉහළට ගැනීම ගැන ණය හිමියොත් උනන්දුයි.
දින පහේ බැංකු නිවාඩුවේ අරමුණ මොකක්ද?
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරද්දි නෛතික වශයෙන් සිදු කළ යුතු වෙනස්කම් තිබෙනවා. වසරකට වඩා කෙටි කාලයක් සඳහා ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබෙනවා. ඒවායේ කාලය වසර 2ක් හෝ 3ක් ලෙස දිර්ඝ කරනවා නම් ඒවා තවදුරටත් භාණ්ඩාගාර බිල්පත් නෙමෙයි. එය භාණ්ඩාගාර බැඳුම්කරයක් බවට පරිවර්තනය වෙනවා.
භාණ්ඩාගාර බිල්පතක් බැඳුම්කරයක් බවට පරිවර්තනයක් කරන්න නම් නීති සංශෝධනයක් අවශ්‍යය වෙනවා. එය සිදුවන අතර, වැරැදි තොරතුරු සමාජගත කිරීම නිසා වෙළෙඳ පොළේ කිසියම් අහිතකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එවැනි සිදුවීම් නැවැත්වීම බැංකු නිවාඩුවේ අරමුණයි.
මේ කර්තව්‍යය ඉක්මනින් අවසන් කිරීම මේ නිවාඩුවේ අරමුණ විදියට අපට පෙනෙනවා. වෙනත් රටවලත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදි බැංකු නිවාඩු දුන් අවස්ථා තිබෙනවා.
ප්‍රතිව්‍යුහගතකරණයේදී අවධානය යොමුව තිබෙන්නෙ බැඳුම්කර ගැන පමණයි. එයට හේතුව කුමක්ද?
භාණ්ඩාගාර බිල්පතක් කියන්නෙ රජය කෙටි කාලීනව ණය ලබා ගන්නා උපකරණයක්. ඒ බිල්පත වුවමනා නම් වෙනත් කෙනෙකුට විකුණන්න පුළුවන්. කල් පිරෙන අවස්ථාවේ අදාළ සහතිකය අත ඇති තැනැත්තාට මහ බැංකුව මුදල් ගෙවීම කරනවා. රුපියල් ට්‍රිලියන හතරක එවැනි බිල්පත් මේ වන විටි රජය නිකුත් කර තිබෙනවා.
ඒවායින් සියයට 67ක් මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මහ බැංකුව තමන් මිලදී ගත් භාණ්ඩාගාර බිල්පත් හැර මහජනයාට නිකුත් කල බිල්පත් ප්‍රතිව්‍යුහගත නොකරන බව මහ බැංකු අධිපතිවරයා කියලා තියෙනවා. ඔවුන් මිලදී ගත් බිල්පත් ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සමහර විට සලකා බලන්න පුළුවන්. මේක අද ඊයේ කියපු දෙයක් නෙමෙයි. මහ බැංකු අධිපතිවරයා මේ ගැන මෙයට පෙර සහතිකයක් දී තිබෙනවා.
කාලය දීර්ඝ කිරීම, මුහුණත වටිනාකම අඩු කිරීම, පොලිය අඩු කිරීම යන ක්‍රම තුනෙන් බැඳුම්කර සම්බන්ධයෙන් යොදාගත හැකි විකල්පය කුමක්ද?
මහ බැංකුව යෝජනා කරන විකල්පය මොකක්ද කියලා මට හරියටම කියන්න බැහැ. නමුත් තැන්පතුවලට හා බැංකු පද්ධතියට ගැටලුවක් නොවන ආකාරයට විසඳුමක් දෙනවා කියලා මහ බැංකු අධිපතිවරයා සහතිකයක් දී තිබෙනවා. එහෙම විසඳුමක් දෙනවා නම් අපට කාලය දීර්ඝ කිරීමක් ගැන අනුමාන කරන්න පුළුවන්. මම එය අනුමත කරන බව හෝ එකම විසඳුම එය පමණයි කියන දේ නෙමෙයි, අපට පොඩ්ඩක් තව දවසක් ඉවසීමෙන් බලා ඉන්න වෙනවා.
ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පොලී අනුපාතයට ඇති වෙන බලපෑම මොකක්ද?
දැනට භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම අඩුව තිබෙන්නෙ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන්ව නැති නිසයි. එතකොට අවදානම් පොලියක් එකතු වෙනවා. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන ආකාරයට මේ දක්වා කියලා නොතිබුණු නිසා ඒවා මිලදී ගන්නා අය සියයට 18 - 20 වගේ ලොකු පොලි ඉල්ලනවා. ප්‍රතිව්‍යුහගත කිරීම ඉවරවූ පසු පොලී අනුපාතය පහළ වැටෙනවා. පොලී අනුපත පහළ යෑමත් සමඟ ණයවල හා ස්ථාවර තැන්පතුවල පොලී අනුපාත ද මේ සමඟ පහළ යනවා.
පොලී අනුපාතය පහළ යෑම ආර්ථිකය නැවත ක්‍රියාකාරී තත්ත්වය ගෙනෙන්න හේතු වේ කියලා විශ්වාස කරනවද?
පොලී අනුපාත අඩු වුණාම මිනිස්සු ව්‍යාපාර ආරම්භ කිරීමට උත්සාහ කිරීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. නව රැකියා අවස්ථා ඇති වෙන්නත් පොලී අනුපාත අඩු කිරීම හේතු විය හැකියි. මිනිස්සු අතට වැඩිපුර මුදල් ගැවසෙන තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. එවිට ආර්ථිකය ක්‍රියාකාරී වෙනවා.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පුද්ගලික තැන්පතුවලට බලපෑමක් වෙන්න පුළුවන්ද?
එහෙම වෙන්න හැකියාවක් නැහැ. ස්ථාවර තැන්පතුවල නිශ්චිත එකඟ වූ කාලයක් හා පොලී අනුපාතයක් තිබෙනවා. ඒ පොලිය අඩු කරන්න හැකියාවක් නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් එයට බලපෑමක් වෙන්නෙ නැහැ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න ඉන්දියාව සහාය දෙන බව ප්‍රකාශ කළා. නමුත් ඒ ලිපියෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යම් බලපෑමක් වුණාද?
ඉන්දියාව අන්තර්ජාතික ණය අරමුදලට ලිපියක් ඉදිරිපත් කරමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහාය දෙන බව කිව්වා වුණත් එහෙම සහාය දෙන්නේ ණය බර සියයට 95 දක්වා අඩු කරන්න කියලා කිව්වා. ණය ප්‍රතිමූලනය කිරීම සියයට 13 දක්වා ගෙනෙන්න ඔවුන් සහාය දෙන බව ඒ සමඟ ප්‍රකාශ කළා. මේ අරමුණු දෙකට යන්න නම් ණය සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරන්න වෙනවා. එහෙම අඩු කරද්දී විදේශීය ණය වගේම දේශීය ණයත් අඩු කරන්න වෙනවා. මේ ගැන මගේ අදහස නම් විදේශ ණය පමණක් ප්‍රතිව්‍යුහගත කළ යුතුය යන්නයි. නමුත් විදේශීය ණය අඩු කිරීමෙන් පමණක් ණය බර සියයට 95 දක්වා ගෙනෙන බැරි අවස්ථා එනවා.
ණය ගණනය කිරීමේදි අප සලකා බලන්න වුවමනා කාරණ කිහිපයක් තිබෙනවා. ගිය අවුරුද්දේ අප්‍රේල් 12දා සිට අප ණය ගෙවීම නවත්තන බව ප්‍රකාශ කළා. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කෙරෙන තෙක් එකඟ වූ පොලිය දිගටම ගෙවන බවට අප ණය හිමියන්ට ප්‍රතිඥාවක් දුන්නා.
අපේ ප්‍රධාන ද්වීපාර්ශ්වික ණය හිමියා චීනයයි. ඔවුන්ගෙ පැත්තෙන් මේ ආකාරයේ ඉල්ලීමක් ඉදිරිපත් වුණාද?
ඒ ගැන මට අදහසක් නැහැ. ශ්‍රී ලංකාව නිකුත් කළ අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගත් පාර්ශ්ව නම් දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලීමක් කළා. චීනය සහ ඉන්දියාව එහෙම ඉල්ලුවද කියලා මට අදහසක් නැහැ.
චීනය පැරිස් සමුළුවේ සාමාජිකයෙක් නෙමෙයි. ඔවුන් එයට සම්බන්ධ වුණේ නිරීක්ෂකයෙක් හැටියට පමණයි. නමුත් මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවේ දේශීය ණය කළ යුතුමයි කියලා නැහැ. අපි කරන ඕනෑම ප්‍රතිව්‍යුහගත කිරීමක් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය රැකෙන ආකාරයට කළ යුතුයි කියලා ඔවුන් කියා තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සැත්කමක් කරනව වගේ වැඩක්. ලොකු ප්‍රශ්නයක් නැත්නම් කවුරුත් නිකම් සැත්කම් කර ගන්නෙ නැහැනේ.
මෙතැනදී මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීම මොකක්ද? දේශපාලන වේදිකාවල කියවෙන ආකාරයට නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මූල්‍ය අරමුදලේ බලපෑමෙන් සිදුවන කාරණයක් නේද?
මූල්‍ය අරමුදල මූලික වශයෙන් යම් මඟ පෙන්වීමක් කරනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ණය බර කොතෙක් විය යුතු ආකාරය ගැන ඔවුන් මඟ පෙන්වීමක් කර තිබෙනවා. විදේශීය ණය හිමියන්ගෙ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පමණක් ණය බර සියයට 95 දක්වා ගෙනෙන්න බැරි නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අප පෙලඹී සිටිනවා.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදහසක් නොමැති බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා ගිය සතියේ ප්‍රකාශ කළා. එවැනි පසුබිමක මේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට හේතු වුණේ ඇයි?
දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය අනුපාතය පහළට ගෙනෙන්න ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදි අපට සිදු වුණා. ඒ දිනවල අපේ ණය බර සියයට 130ක පමණ අගයක් ගත්තා. අන්තර්ජාතික ණය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාව අනුව 2032 වසර වන විට සියයට 95 දක්වා ණය ප්‍රතිශතය අඩු කිරීමට අප එකඟව තිබෙනවා. එය ප්‍රමාණවත් අඩු කිරීමක් නෙමෙයි. නමුත් ඒ අගයට යන්න වුණත් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පමණක් බැරි බව වැටහෙන්න ඇති. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පමණක් දේශිය ණය ප්‍රතිශතය සියයට 95.
ආර්ථික ප්‍රතිසංස්කරණවල වැදගත්කම කුමක්ද?
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පමණක් අපට ගොඩ යන්න බැහැ. ඒ සඳහා අනිවාර්යයෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතුමයි. නමුත් ප්‍රතිසංස්කරණ හෙමින් කෙරෙන්නෙ. මෙයට වඩා ඉක්මනට ප්‍රතිසංස්කරණ කෙරෙන්න ඕනෑ.
චන්දන ජයවීර
0 Comments