diyawanna-lake-dead-body

දියවන්නා ඔයේ ගිලී අභිරහස් ලෙස මියගොස් තිබී ඉකුත් 04දා සවස හමුවූ සිරුර නුගේගොඩ තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන කාර්යාල කාර්ය සහායකයකුගේ බවට හදුනාගෙන ඇතැයි තලංගම පොලිසිය පවසයි.  ඔහුගේ මළ සිරුර ජපන් මිත්‍රත්ව පාලම අසලින් කිඹුලාවල හන්දිය දෙසට දිවෙන මාර්ගය අසල පාර්ලිමේන්තුව පිටුපස දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබුණි.

එහෙත් ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට කිසිදු තොරතුරක් ඔහු සන්තකයේ නොතිබීම නිසා අභිරහස් ලෙස මියගිය නාඳුනන පුද්ගල සිරුරක් සේ සලකා භාරකරුවකු ඉදිරිපත් වන තෙක් එම සිරුර කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙසට සිද්ධිය වූ ස්ථානයට පැමිණි තලංගම හදිසි මරණ පරීක්ෂක ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පොලිසියට නියෝග කළාය. ඉකුත් 03දා සවස සිට අතුරුදන්ව සිටි එම පුද්ගලයා පිළිබඳව ඥාතීන් තොරතුරු සොයා බලමින් සිටින අතරතුරදී දියවන්නා ඔයේ ගිලී පුද්ගලයකු මියයාමේ පුවතක් පිළිබඳව ඔවුන්ට තොරතුරක් ලැබී තිබුණි.



ඒ අනුව මියගිය පුද්ගලයාගේ ඥාතියකු ඉකුත්දා (08) තලංගම පොලිසියට පැමිණ අතුරුදන් වූ පුද්ගලයාගේ තොරතුරු පවසා මළ සිරුර තැන්පත් කර තිබූ කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට ගොස් දේහය හඳුනාගෙන තිබේ. මියගොස් ඇත්තේ මහරගම දඹහේන පාරේ පදිංචි උදුගොඩගේ අනිල් ප්‍රසන්න රුද්‍රිගු නමැති 51 හැවිරිදි තැනැත්තකු බව පොලිසිය කීය. දෙදරු පියකු වන ඔහු තැපැල් කාර්යාලයේ සේවයට අමතරව සිය බිරියගේ පියාගේ ද සහාය ඇතිව දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ ජීවනෝපාය සලසා ගැනීම සඳහා පදික වේදිකාවේ මල් පැළ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පැවැසීය. ඉකුත් 03දා සවස මල් පැළ ව්‍යාපාරය පවත්වා ගෙන යන ස්ථානයට ගොස් නැවත පියා කැටුව නිවසට එන බව බිරියට පවසා නිවසින් පිටව ගොස් ඇතත් දින හතරක් නොපැමිණීමෙන් සැක සිතී ඥාතීන් ඔහු පිළිබඳව සොයා බලා තිබේ.  කෙසේදැයි මෙතෙක්  මරණය සිදු වූයේ අනාවරණය වී නොමැත.


ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න