doctor-migration

අමාත්‍යාංශයට නොදන්වා විදේශ ගත වූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනකු සම්බන්ධයෙන් සේවය අතහැර යෑමේ නිවේදන (V.O.P) නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තෘතීයික සත්කාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝපා කමිටුව) පැවසීය. මේ අතර පුහුණුවීම් සහ වෙනත් අවශ්‍යතා සඳහා විදේශයන්ට ගොස් නැවත සේවයට වාර්තා නොකළ විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනකු අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බව පැවසූ අධ්‍යක්ෂවරයා විදේශ පුහුණුවෙන් පසු මාණ්ඩලික සහතිකය ලබා විශේෂඥ වෛද්‍යවරුන් බවට මෑතක දී පත්වුණු 250 දෙනකුගෙන් 50 දෙනකු රැකියා සඳහා විදේශ ගතව ඇතැයිද සඳහන් කළේය.



මෙසේ විදේශ ගතවන අය බැඳුම්කරය ගෙවා යා යුතු බවත් නොදන්වා ගිය අයගෙන් බැඳුම්කරය අයකර ගැනීමට කටයුතු කරගෙන යන බවත් ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය. මෙසේ විදේශගත වූ වෛද්‍යවරුන්ට නැවත පැමිණීමට ලිපියක් නිකුත් කරන බවත් එම ලිපිය නිකුත් කර මාසයක දී නොපැමිණියහොත් සේවය අතහැර යෑමේ  නියෝගය නිකුත් කරන බවත් ඔහු කීවේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධනය විමසීම සඳහා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගියදා රැස්විය. මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

මේ අතර වෛද්‍යවරුන් 677 දෙනකු මේ වසරේ මැයි මස 31 වැනිදා වනවිට විදේශ පුහුණුවට ගොස් ඇති බවත් ඒ අය ඉදිරි වසර දෙකේදී නැවත පැමිණිය යුතු බවත් ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ "මේ අය එනකම් කියන්න බැහැ” යනුවෙනි.

මෙම විශේෂඥ වෛද්‍යවරුන් නොපැමිණියහොත් කුඩා රෝහල්වලට බලපෑමක් ඇතිවිය හැකි බවත් මේ ගැන පුළුල්ව සාකච්ඡා කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. වෛද්‍යවරුන් තවත් 612 දෙනකු පුහුණුවීම් සඳහා විදේශගතවීමට සූදානම් වෙමින් සිටින බවද ගුණවර්ධන  මහතා පැවසුවේය.

වෛද්‍යවරුන් ඇත්තටම විදේශගත වන්නේ ආර්ථික අර්බුද නිසා බවත් දරුවන්ගේ ඉගෙනීම් සඳහා මුදල් සොයා ගැනීමද තවත් බලාපොරොත්තුවක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. ගිවිසුම අනුව යළි මෙරටට නොපැමිණිය හොත් පුහුණුවට ගිය මුළු වියදම වූ රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක මුදල අයකර ගැනීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අංශ ප්‍රධානීහු එහිදී පැවසූහ.  මේ අතර වෛද්‍යවරුන් තුන්සියයක් මේ වසරේ විදේශගතවී ඇති බවත් විදේශගතවන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කොටසක් යළි සේවයට නොඑන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජේ. විජේසූරිය මහතා එහි දී පැවසීය. විශේෂඥ වෛද්‍යවරුන් 2799 දෙනකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 2148 දෙනකුගේ පමණක් බවත් 651 කෙනෙකුගේ අඩුවක් පවතින බවත් ඔහු කීවේය.
(අංජුල මහික විරරත්න)