education-officer-fraud

ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර අධ්‍යාපනයට සම්බන්ධ ජාතික ආයතනයක ඉහළ තනතුරකට පත්ව ඇතැයි පැවසෙන උසස් නිලධාරියකු සම්බන්ධයෙන් විගණන අංශ විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි වාර්තා වේ. විගණන අංශ මේ විමර්ශනය අරඹා ඇත්තේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණනාවක් පදනම් කරගෙනය. මේ උසස් නිලධාරියා ඉදිරිපත් කර ඇති ව්‍යාපාර පරිපාලනයට අදාළ පශ්චාත් උපාධි සහතිකය  සම්බන්ධයෙන්  එම සහතිකය නිකුත් කර ඇතැයි පැවසෙන  විදේශීය විශ්ව විද්‍යාලයෙන් විගණන අංශ  කරුණු විමසා ඇතත් ඒ තහවුරු කිරීම් මෙතෙක් ලබාදී නැතැයි දැනගන්නට ඇත.



එසේම මෙම නිලධාරියා සම්පූර්ණ කර ඇති සේවා පළපුරුද්ද සම්බන්ධයෙන් ඔහු මීට විසින් පෙර රාජකාරිය කළ ආයතනයක් නිකුත් කරනු ලැබ ඇති සේවා සහතික දෙකක වෙනස් තත්වයක් සඳහන්වීම ද විගණන නිලධාරීන්ගේ බරපතළ සැකයට තුඩුදී ඇත. මෙම නිලධාරියා කාලයක් ආරක්ෂක අංශයක සේවය කරමින් සිටියදී කිසියම් දූෂණ චෝදනාවකට ලක් වී සේවයෙන් ඉවත් කරනු ලැබුවකු බවද සඳහන් වේ. ඔහු අධ්‍යාපනයට සම්බන්ධ එම ආයතනයේ ඉහළ තනතුරකට පත්ව ඇත්තේ මූලික සුදුසුකම් හෝ නොමැතිව ඉල්ලා තිබූ පළපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් පවා වංචා සහගත ලෙස හුවා දක්වමින් බව පවසන එම ආයතන ආරංචි මාර්ග මේ පිළිබඳව තොරතුරු හෙළි වීමෙන් පසු ඔහුගේ පෞද්ගලික ලිපිගොනු අදාල අමාත්‍යාංශයේ විමර්ශන අංශය බාරයට ගෙන ඇතැයි ද සඳහන් කළේය. මේ අතර චෝදනා එල්ල වී සිටින මේ උසස් නිලධාරියා හිටි හැටියේම එම ආයතනයේ වෘත්තීය සමිති දෙකක සභාපති ධූර ලබා ගැනීම ද කාගේත් විමතියට තුඩුදී ඇති  බව වාර්තා වේ.
සුජිත් හේවාජුලිගේ