ඓතිහාසික ඇහැළේපොළ වලව්ව, මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පවරාදීමට කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය. මහනුවර රජ වීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ඇහැළේපොළ මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත් වූ නිවසයි.
එය ඇහැළේපොළ වලව්ව, රිමාන්ඩ් බන්ධනාගාරය හා බන්ධනාගාර නිල නිවාසය ලෙස ගොඩනැගිලි තුනකින් සමන්විත වේ. මෙම ඓතිහාසික ඇහැළේපොළ වලව්ව තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙසින් පවත්වාගෙන යෑම අපරාධයක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී (ක්‍රි.ව. 1844) මෙය හමුදා බැරැක්කයක් ලෙස භාවිතයට යොදාගෙන තිබූ අතර පසුකාලීනව සිර මැදිරියක් හා බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස ද එය පවත්වාගෙන යනු ලැබිණි. ඓතිහාසික ඇහැළේපොළ වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආශ්රිත පූජාභූමි ප්‍රදේශයේ පිහිටා ඇති අතර 2005 වසරේදී පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැළේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරියට පවරනු ලැබිණි.
අංජුල මහික වීරරත්න
0 Comments