engineering-salaray

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ඊට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවක වැටුප්, හිඟ වැටුප්  සහ හිඟ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි වටිනා ඉඩමක් රුපියල් කෝටි 1000කට පමණ විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කලුපහන මහතා ප්‍රකාශ කළේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට යාබදව පිහිටා තිබෙන ඉහළ නාගරික වටිනාකමකින් යුත් අක්කර 17යි රූට් 2යි පර්චස් 17 ක වපසරියකින් යුක්ත ඉඩමක් මෙසේ විකුණා දැමීමට තීරණය කර ඇති බව සභාපතිවරයා පැවසීය.



ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයන්ට මැයි මාසයට හිමි වැටුපෙන් රුපියල් හත්දහසක් පමණක් ගෙවීම සම්බන්ධයෙන් එල්ලවී තිබෙන සේවක විරෝධය පිළිබඳව කළ විමසීමක දී නීතිඥ රත්නසිරි කලුපහන මහතා මේ බව ප්‍රකාශ කළේය. රට තුළ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු අඩපණව පැවතීම නිසා ආයතනයට ලැබිය යුතු ආදායම් මාර්ග අහිමි වී ඇති බවත් මේ තත්ත්වය හමුවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවකයන්ට මාසික වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් වී ඇති බවත් ඔහු කීවේය.

සිය කැමැත්තෙන්ම විශ්‍රාම යාමට සූදානමින් සිටින සේවකයන් 1100 දෙනකුට ගෙවීම සඳහා පමණක් රුපියල් කෝටි 260 ක් පමණ අවශ්‍ය වන බව ද සභාපතිවරයා කීවේය. ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ මහා පරිමාණයෙන් මූල්‍ය අක්‍රමිකතා සිදුවීම සහ යහපාලන ආණ්ඩුව කාලයේ දී සීමාව ඉක්මවා සේවකයින් පිරිසක් බඳවා ගැනීම ද මෙම ආයතන පවත්වාගෙන යාමට ගැටලුවක් වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය. නීතිඥ රත්නසිරි කලුපහන මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

අපි අවස්ථා ගණනාවකදීම ආයතනය බාර අමාත්‍යවරුන්ට සහ මුදල් අමාත්‍යාංශයට පෙන්වා දුන්නා පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ ආයතනවල සේවකයන්ට වැටුප් ගෙවීම ඉතාම අපහසු බව. වැටුප් පමණක් නොවෙයි වසර දෙකකින් සේවකයන්ගේ ඊපීඑෆ් සහ ඊටීඑෆ් පවා ගෙවා නැහැ. මේ තත්වය මත අපේ ආයතනයේ 1100 ක සේවක පිරිසක් ස්ව කැමැත්තෙන්ම ඉල්ලා අස්වීමට සිටින නිසා ඒ අයට වන්දි ලබා දෙන ලෙස අපි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කළා.

නමුත් අපේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු මහා භාණ්ඩාගාරය අපට දැනුම් දුන්නා අපේ ආයතනය සතු යම්කිසි සම්පතක් තියෙනවා නම් ඒක විකුණලා වන්දි ගෙවන්න කියලා. ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැති බවත් අපට දන්වා සිටියා.

ඒ අනුව අපි අපේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා මඟින් කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා දැම්මා අපේ ආයතනයට අයත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට යාබදව පිහිටි වටිනා ඉඩම විකුණලා ඉංජිනේරු සංස්ථාවේ පවතින මේ මහාණය කන්දරාව සහ සේවක විශ්‍රාම වන්දි මුදල් ගෙවන්න. මේ ඉඩමේ වර්තමාන වටිනාකම රුපියල් කෝටි 900ත් 1000ත් අතර සංඛ්‍යාවක් කියලා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් නියම කරලා තිබෙනවා. මේ ඉඩම කොළඹ නාගරික ප්‍රදේශයේ තියෙන ඉතාම වටිනා ඉඩමක්. මෙහි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාලන කාලයේ දී ඉදිකරමින් තිබුණු දෙමහල් ගොඩනැගිල්ලකුත් තිබෙනවා. නමුත් පසුගිය යහපාලන රජය සමයේ දී එහි ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දැමීම නිසා දැන් විනාශයට පත් වෙලා තිබෙනවා. එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ඉදිකර තිබුණා නම් ඉඩමේ වටිනාකම තවත් ඉහළ යන්න තිබුණා.

අපි මේ සඳහා දාපු කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනුමත කළත් වර්තමානයේ සිටින ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා එය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව අපට දන්වා සිටියා.

මේ තත්ත්වය අපට විශාල ගැටලුවක් වෙලා තිබෙනවා. මේ සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත් වීමෙන් පසුව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ආයතනය මුදල් අමාත්‍යාංශය වෙත පවරා ගත්තා. එය ඉදිරි කටයුතු සඳහා ඉතාම පහසුවක් වේවි. උද්ගතව පවතින මෙම ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීම සඳහා වැඩ බලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සමඟ අද (19) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද නීතිඥ කලුපහන මහතා සඳහන් කළේය.
පුෂ්පකුමාර ජයරත්න