facebook-lover-nabbed

මුහුණ පොතෙන් වරින් වර හඳුනා ගත් තරුණියන් සැලකිය යුතු සංඛ්‍යාවක් සමග ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගෙන ඔවුන් හෝටල්වලට කැඳවාගෙන ගොස් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත්තේ යැයි කියන 26 හැවිරිදි තරුණයෙක් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (24) අත්අඩංගුවට ගනු ලැබීය.



මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණයෙකි. අත්අඩංගුවට ගත් මෙම සැකකරු පරිහරණය කරන නවීන පන්නයේ ජංගම දුරකතනයද පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් භාරයට ගත් ජංගම දුරකතනය පරීක්ෂා කර බැලීමේදී තරුණියන් සැලකිය යුතු සංඛ්‍යාවකගේ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන අඩංගුව තිබී සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

මුහුණ පොතෙන් හඳුනාගෙන ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගන්නා සැකකරු එම තරුණියන් හෝටල්වලට වරින් වර රැගෙන ගොස් ලබාගත් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ පට මෙම ජංගම දුරකතනයේ ඇතුළත්ව ඇති බව පෙනී යන්නේ යැයි පොලිසිය කියයි. මුහුණ පොතෙන් හඳුනාගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන පසුව එම තරුණයාගේ ඉල්ලීම මත විසි එක් හැවිරිදි තරුණියක අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ඇත.

පැමිණිලිකාර තරුණියද අවිස්සාවේල්ල ප්‍රදේශයේම පදිංචිකාරියකි.

මුහුණු පොතෙන් හඳුනාගෙන තිබුණා මිස තරුණිය මෙම තරුණයා මීට පෙර සැබැවින්ම දැක නොමැති අතර ඔහු හෝටල් කාමරයක් තුළදී තමාගේ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර වරින් වර රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ලබාගෙන තිබිණි යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. සැකකරු මුදල් තැන්පත් කිරීමට බැංකු ගිණුමක් ද ලබාදුන් බව එම තරුණිය පොලිසියට පවසා ඇත.

රුපියල් ලක්ෂ දෙකක මුදලක් වරින්වර ලබාගැනීමෙන් පසු තවත් මුදල් ඉල්ලමින් තර්ජනය කරන නිසා එම තරුණිය මේ බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයට පැමිණිලි කර ඇත. තරුණිය කළ මෙම පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුට රැවටුණු තරුණියන්ට නොබියව ඉදිරිපත් වී පැමිණිලි කරන ලෙස පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය ඉල්ලීමක් කරයි.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය