fake-doctor-story

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ 1967 වසරේ දී ලියාපදිංචි වූ වෛද්‍යවරයකුගේ අංකයක් ව්‍යාජ ලෙස භාවිත කරමින් පානදුර සරික්කමුල්ල  ප්‍රදේශයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ද සමග පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහුට වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් නොමැති බවත් පොලිසිය කියයි. ඔහුට ඖෂධ සම්බන්ධයෙන් ද කිසිදු පුහුණුවක් නොමැති බව අනාවරණය වූ බව ද පොලිසිය සඳහන්  කරයි. සැකකරු මෙම ස්ථානයේ ගබ්සාද කර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. සැකකරු සමග මෙම වෛද්‍ය මධ්‍යයස්ථානයේ සේවය කළ හෙදියද කිසිදු පුහුණුවක් නොල ද තැනැත්තියක බව පොලිසිය පවසයි.

මෙම ස්ථානය සම්බන්ධයෙන් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂකවරයාට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයකු යොදවා කිසියම් රෝගයකට ඖෂධයක් ලබාගෙන, වෛද්‍ය වාර්තාවක් ද ලබාගත් බව පොලිසිය පවසයි.

සැකකරුගේ වෛද්‍ය වාර්තාව වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කිරීමේ දී ඔහුගේ නමින් කිසිදු  අංකයක් ලියාපදිංචි වී නොමැති බව හෙළිවී  ඇතැයි ද ඔහු භාවිත කළ ලියාපදිංචි අංකය 1967 වර්ෂයේ වෛද්‍ය සභාවේ වෙනත් වෛද්‍යවරයෙකුට අයත් ලියාපදිංචි අංකයක් බවට හෙළිවිණි යැයි ද පොලිසිය පවසයි. මෙම අංකය හිමි වෛද්‍යවරයා වයෝවෘද්ධ අයකු බවත් ඔහු දැනට ජීවතුන් අතර නොමැති පුද්ගලයකු විය හැකි බවටත් පොලිසිය කියයි. මෙම තොරතුරු අනුව පොලිසිය වෛද්‍ය කණ්ඩායමක් සහ මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් පිරිසක් ද සමග එක්ව එම වෛද්‍ය මධ්‍යස්ථානය ඊයේ (27) වැටලීය.

එම ස්ථානය වැටලූ අවස්ථාවේ දී එහි රෝගීන් 18 දෙනකු පමණ ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිට ඇති අතර ඔහු වෛද්‍යවරයකු  නොවන බවට හෙළිවීමත් සමඟම ඔවුන් විමතියට පත් වූ බව පොලිසිය සඳහන් කරයි. සැකකරු වසර දෙකක පමණ කාලයක සිට මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන  ගොස් ඇති බවත්,

රෝගීන් විශාල පිරිසක් ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට දිනපතා පැමිණෙන බවත් පොලිසිය පවසයි. සැකකරු රෝගවලට ප්‍රතිකාර කිරීමට අමතරව ගබ්සා ද සිදුකර ඇති බව පෙලිසිය කියයි.

එම ගබ්සා සඳහා භාවිත කළ ඖෂධ රැසක් ද පොලිසිය භාරයට ගෙන ඇත. සැකකරුගේ ඥාතියකු මෙම ස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් මීට පෙර පවත්වාගෙන ගොස් ඇති අතර, ඔහුද ව්‍යාජ වෛද්‍යවරයකු බවට හෙළි වූ බව පොලිසිය පවසයි. රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හා ඖෂධ ලබා දීමට සැකකරුට කිසිදු බලයක් නොමැති බවද පොලිසිය සඳහන් කරයි. සැකකරු භාරයේ තිබූ ඖෂධ අතර වැඩි ප්‍රමාණයක් කල් ඉකුත්වී ඇති ඖෂධ බවත් වෛද්‍ය උපකරණ රැසක් ද ඔහු බාරයේ තිබී පොලිසිය භාරයට ගෙන ඇති බවත් පොලිසිය කියයි. සැකකරු විදේශ රටක ඖෂධ සම්බන්ධයෙන් පුහුණුවක් ලැබූ බවට ප්‍රකාශ කළ ද එය සනාථ කිරීම සඳහා කිසිදු ලේඛනයක් ඔහු සතුව තිබී නොමැත.

විදේශ රටවල පුහුණුව ලැබුවද වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැතිව කිසිදු පුද්ගලයකුට මේ ආකාරයෙන් වෛද්‍ය  මධ්‍යස්ථාන පවත්වාගෙන යාම නීති විරෝධී බවද පොලිසිය සඳහන් කරයි. සැකකරු භාරයේ තිබූ ඖෂධ වර්ගද නියාමන අධිකාරිය භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගත් බවට සැලවීමත් සමගම ඔහුගේ ඥාතීන් එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරින්ට මුදල් ලබාදී සිද්ධිය සමතයට පත් කිරීමට උත්සාහ ගෙන ඇතැයි ද පොලිසිය කියයි.  එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිසිය සඳහන් කරයි.
 ඉන්දිකා රාමනායක