fake-passport-makers-nabbed

මෙරට විවිධ අපරාධ සිදුකර විදේශගතවීමට මාන බලන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට ව්‍යාප් තොරතුරු ඇතුළගුවන් ගමන් බලපත්‍ර සකසා දුන් බව කියන වව්නියාව සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරියකු සහ නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනියක ස හ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සහකාරවරයකු එලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි කියයි.

මෑත කාලයේ දී මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඡායාරූප ඇතුළත් කළ ගුවන් ගමන් බලපත්‍ර 13ක් ජාතික හැඳුනුම්පත් 06ක් රාජ්‍ය ආරක්ෂක සහ නාගරික අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ, රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ තනතුර ඇතුළත් රබර් මුද්‍රා, ජංගම දුරකතන 06 ක් ගුවන් ගමන් බලපත්‍ර ඉල්ලුම් පත්‍ර සහ විවාහ සහ උප්පැන්න සහතික විශාල ප්‍රමාණයක් සැකකරු හා සැකකාරියගේ නිවෙස්වල සඟවා තිබිය දී සිය භාරයට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.



මීට දින කිහිපයකට ඉහත දී පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් 'හෙරොයින්' මත්කුඩු ග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් සමග කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණ තිදෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දීමෙන් අනතුරුව අධිකරණයෙන් ලබාගත් රඳවා ගැනීමේ නියෝග මත සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරිමේ දී මෙම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූ බව පොලිසිය කියයි.සැකකරුත් සැකකාරියත් එක්ව කාලයක් තිස්සේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රටින් පලා යාම සඳහා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකසා දී ඇති බව මෙතෙක් කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත. සංවිධානාත්මක  අපරාධකරුවකු වන ඩුබායිහි සැගව සිටින ගනේමුල්ල සංජිව නමැත්තා ගුවන් ගමන් බලපත්‍රයක් සැකසීම සහ රුපියල් ලක්ෂ පහක මුදලක් ඔහුගේ ගෝලබාලයන් අතට පත්කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.

එසේම ගනේමුල්ල සංජීව නමැත්තාගේ සමීපතමයකු වන ගොත අසංක නමැත්තාට ද ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර දීම සඳහා සැකකරු සහ සැකකාරිය වෙත බාර දී තිබූ බව ද සිදු කළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය විය.

මෑත කාලයේ දී මෙරට ආන්දෝලනාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකුගේ ඡායාරූප යොදා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ද පොලිස් භාරයට ගත් ගමන් බලපත්‍ර අතර තිබෙන බව පොලීසිය කියයි. එලෙසම ප්‍රධාන පෙළේ අපරාධකරුවන් සිව් දෙනකුගේ ඡායාරූපයට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ගුවන් ගමන් බලපත්‍ර හතරක් මෑත කාලයේ දී සැකකරු සැකකාරිය හා එක්ව සකස් කර දී ඇති අතර එමගින් දෙදෙනකු මේ වන විටත් විදේශගතව ඇතැයි ද පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත.

පොලිසිය මගින් විදේශගත වීම තහනම් නියෝග අධිකරණයෙන් ලබාගෙන ඇති ඔවුන්දෙදෙනා පිළිබඳ විස්තර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ද ලබාදී ඇති පුද්ගලයන් බව පොලිසිය කියයි. වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිකාරිනියක වන සැකකාරිය වව්නියාව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ යම් නිලධාරියකුගේ සහාය ලබාගෙන ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ගුවන් ගමන් බලපත්‍ර සකසා ඇති බවට මේ වනවිට අනාවරණ වී ඇත. ඒ සම්බන්ධයෙන් ද පොලිසියේ අවධානය යොමුව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි වියේ ද සැකකාරිය 54 හැවිරිදි වියේ ද පසුවන අතර දෙදෙනාම අනුරාධපුර පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ