galle-face-beggers-ridiyagama

ගාලුමුවදොර පිටියේ යාචක හිරිහැරය මැඬලීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය විසින් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
කොළඹ සහ කොළඹට පැමිණෙන ජනතාව සතියේ දිනවල මෙන්ම සති අන්තයේ ද විවේකී සුවයෙන් ගතකිරීම සඳහා පැමිණෙන ස්ථානයක් වන කොළඹ ගාලුමුවදොර පිටිය දෙස් විදෙස් සංචාරකයන් ද තරුණ තරුණියන් ද මවුපියන් තම දරුවන් ද කැටුව පැමිණෙන ගාලුමුවදොර පිටියේ යාචකයන් පිරිස වැඩි වී ඇති බව ද යාචකයන් 150ක් පමණ පිරිසක් සිඟමන් යදිමින් ජනතාවට විශාල හිරිහැරයක් වී ඇති බව ද වාර්තා වී ඇත.





ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් මේ ගාලුමුවදොර පිටියේ තණතිල්ල විශාල වියදමක් දරමින් මේ වන විට ඉතාමත් අලංකාර ලෙස සකසා ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක සහ යටිතල පහසුකම් ලබා දී ඇති අතර මේ යාචකයන්ගෙන් සිදුවන හිරිහැරය පිළිබඳව නිරතුරුව වරාය අමාත්‍යාංශය වෙත වාර්තා ලැබී තිබේ. ඒ අනුව මේ ප්‍රශ්නයට පිළියමක් ලෙස මේ යාචකයන් රැගෙන ගොස් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර ඇති අතර වරාය අධිකාරිය සහ පොලිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.

මේ යාචකයන් රිදියගම මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමේ දී ඔවුන් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ආහාර පාන සැපයීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එයට අනුබද්ධිත ආයතන විසින් සමාජ සත්කාරක සේවයක් ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන ලෙස ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් උපදෙස් දී තිබේ.



මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පිළිබඳව වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (26) පැවති අතර මේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති කීත්. බර්නාඩ් මහත්වරුන් ඇතුළු වරාය අධිකාරියේ නිලධාරීන් ද වරාය අධිකාරියට අනුබද්ධිත නිලධාරීන් පිරිසක් ද පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

මෙහිදී ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, විශේෂයෙන් දෙස් විදෙස් සංචාරකයන් කොළඹට පැමිණෙන අවස්ථාවන්වලදී ගාලුමුවදොර පිටියට පැමිණෙන බැවින් මේ යාචකයන්ගෙන් සිදුවන හිරිහැර ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට විශාල කැළලක් බවයි. මේ ගාලුමුවදොර පිටිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන බැවින් විෂය භාර ඇමැතිවරයා ලෙස මේ ප්‍රශ්නය විසඳීම සඳහා යාචකයන් හම්බන්තොට රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර තිබේ.

 

මහින්ද අලුත්ගෙදර