ganidu-death

දරුණු ගණයේ මිනීමැරුම් හා අපරාධ රැසකට සම්බන්ධ අපරාධ කල්ලියක සාමාජිකයකු බව කියන පුද්ගලයකු හා පොලිස් විශේෂ කාරිය බළකා සාමාජිකයන් අතර ඇඹ්ලිපිටිය වැලිකඩයාය ප්‍රදේශයේ නිවෙසක පෙරේදා (24) අලුයම සිදුවූ වෙඩි හුවමාරුවක දී එම පාතාල කල්ලි සාමාජිකයා මියගොස් ඇති අතර, විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි විශේෂ කාර්ය බළකාය කියයි.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ යුද හමුදාවේ විශේෂ බළකායේ සේවය කර වසර දෙක හමාරකට පමණ පෙර හමුදාවෙන් පළාගොස් සිටි හඳුන්නෙත්ති ගණිඳු සඳුමිණ මෙන්ඩිස් නමැති විසි දෙහැවිරිදි තරුණයෙකි.

ඔහු තිස්සමහාරාම විජයපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීම් වලින් සිදු වූ මනුෂ්‍ය ඝාතන තුනකට සහ ඇවරියවත්ත හා ඔරුගොඩවත්ත යන ප්‍රදේශවල සිදු කළ වෙඩි තැබීමේ සිද්ධි කිහිපයක සැකකරුවකු බවත් ඔහු ආරක්ෂක අංශ සොයමින් සිටි අයකු බවත් පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා ඇඹිලිපිටිය ගඟේයාය වැලිකඩයාය ප්‍රදේශයේ සිය සහෝදරයකුගේ නිවසේ සිටින බවට විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් ඒකකයේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව මෙහෙයුම් කළ බව  පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. විශේෂ කාර්ය බලකා නිලධාරින් එදින එම නිවෙස වටලා එහි කාමරයක සිට සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අස්ථාවේ සැකකරු නිලධාරීන්ට වෙඩි තැබූ බවත් වහා ක්‍රියාත්මක වූ නිලධාරින් එල්ල කළ වෙඩි ප්‍රහාරයේ දී සැකකරු තුවාල ලැබු බවත් විශේෂ කාර්ය බළකාය කියයි.එහිදී විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයකුද තුවාල ලබා ඇත.



තුවාලකරු ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් සිටි බවත් සැකකරු විශේෂ කාර්ය බළකා නිලධාරීන් සන්තකයේ තිබූ චිනයේ නිෂ්පාදිත ටී පනස් හතර වර්ගයේ පිස්තෝලයක්, හිස් පතරොම් කොපු දෙකක් හා ජීව උණ්ඩ තුනක්ද සිය බාරයට ගත් බවත් විශේෂ කාර්ය බලකාය කියයි. ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ උප පොලිස් පරීක්ෂක ඩබ්. ටී.එස්.සී.කේ. බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකළ අතර, එහි මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ජේ.ඒ. සුනාලි මදුවන්ති මෙනවිය විසින් කරනු ලැබීය. මියගිය පුද්ගලයාගේ දේහය ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක්, අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළාය.