government-tax-not-fullfilled

මෙම වසරේ මුල් කාර්තුවේදී රජයේ බදු ආදායම රුපියල් බිලියන 578ක් වුවද එය ඉලක්ක ගත ආදායමට වඩා රුපියල් බිලියන 72ක අඩුවීමක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගෙන තිබෙන එකඟතා අනුව 2023 මාර්තු මස අවසානය වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකයි දශම එකක් හෝ රුපියල් බිලියන 650ක් විය යුතුව තිබු බවද එම ආයතනය පවසයි.



මේ අතර සූදු ක්‍රීඩාවේ වාර්ෂික බද්ද රුපියල් මිලියන 500ක දක්වා වැඩි කිරීමට හා නියෝජිතයන් හරහා ඔට්ටු ඇල්ලීම සඳහා වන බද්ද රුපියල් මිලියන පහක් ලෙස පවත්වා ගැනීමට ද රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇත.

අප්‍රේල් මස අවසානයට පෙර ඔට්ටු හා සූදු බදු සංශෝධනය යටතේ මෙම බදු ක්‍රියාත්මක විය යුතුව තිබූ නමුත්, මේ දක්වා එම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බව ද වෙරිටේ රිසර්ච් ආයතනය සිය නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ රජය එකඟතා සියයක් ඉටු කිරීමට ගිවිස ගෙන ඇතත් මැයි මාසය අවසන් වන විට එයින් සම්පූර්ණ කර ගත හැකිව ඇත්තේ එකඟතා 29ක් පමණක් බවද එම ආයතනය සඳහන් කරයි.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබා දීම සඳහා සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන සමාලෝචන රැස්වීමට පෙර ශ්‍රී ලංකා රජය සම්පූර්ණ කළ යුතු එකඟතා සංඛ්‍යාව 71කි. මේ වන විට ඉන් එකඟතා 29ක් සම්පූර්ණ කර ඇති බැවින් තවත් එකඟතා 42ක් සම්පූර්ණ කර ගත යුතු බවද අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

ජයසූරිය උඩුකුඹුර