hamish-hardin-sri-lanka

ලෝකය පුදුමාකාරය. එහි ඇතැම් සිදුවීම් අදහාගත නොහැකි තරම්ය. මේ ලියැවෙන්නේ එබඳු කතාවකි. මුළු ලෝකයේම අවධානය යොමු වී තිබුණේ සියවසකට පෙර මුහුදු බත්වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය ටයිටන් සබ්මැරීනයට තිළි අත්වූ අවාසනාවන්ත ඉරණම සම්බන්ධයෙනි. මුහුදු පතුලේ දී සබ්මැරීනය පුපුරා ගිය අතර එහි ගමන්ගත් පස් දෙනාම ලොව තතු ලොවට පවසමින් ලොවින් සමුගත්හ. ඉන් එක් අයෙකු මීට දස වසරකට පෙර මට හමුවිය. ඒ කුරුණෑගල දීය. බිලියනපති ව්‍යාපාරිකයකු වූ 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික හමීෂ් හාර්ඩින්ය. ටයිටන් සබ්මැරීනය අයත් සමාගමේ නිර්මාතෘ ස්ටොන්ටන් රෂ්, ප්‍රංශ සාගර  විශේෂඥයකු වන පෝල් හෙන්රි, පාකිස්තානයේ ධනවත්ම ව්‍යාපාරිකයකු වන ශාස්සාධා ඩාවුඩ් සහ ඔහුගේ පුතනුවන් වන සුලෙයිමාන් ඩාවුඩ් මට කුරුණෑගල දී හමු වූ හමිස් හාර්ඩිස් සමග මුහුදු පතුලේ දී අවසන් ගමන් ගිය සෙසු සිව්දෙනා වෙති.

ඒ කතාව දැන් මුළු ලොවම දනී. හමීෂ් හාර්ඩින් බිලියනපති ව්‍යාපාරිකයකු මෙන්ම දක්ෂ ගුවන් නියමුවෙකි. ත්‍රාසජනක ක්‍රියාවන් හරහා ගිනස් වාර්තා පොත තෙවරක්ම වර්ණවත් කළ ඔහු පසුගිය වසරේ දී අභ්‍යාවකාශ සංචාරයකට ද එක්විය. හමිෂ හාර්ඩින් දෙදරු  පියෙකි. මෙයට දස වසරකට එපිට දී පුතණුවකු සමග ඔහු මෙරටට පැමිණියේය.

අනුරාධපුරය, කුරුණෑගල පළාත් හි සංචාරය කළ ඔහු පෙරළා සිය රට බලා යාමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය. මුදල් පසුම්බිය අස්ථානගත වී ඇති බව ඔහු දැන ගත්තේ එහිදීය. අස්ථානගත වූ තැනක් දිනයක් වේලාවක් පිළිබඳව කිසිදු තොරතුරක් නොවූ හෙයින් පසුම්බිය සම්බන්ධ අපේක්ෂාව ඔහු අත්හැරියේය. පුතු සමග ගුවන් යානයට ද ගොඩවූ ඔහු අසුන් ගත්තේය.

ගුවන් යානය පිටවීමට තිබුණේ සුළු මොහොතකි. අසුනට වී දෙනෙත් පියාගෙන සිටි ඔහුගේ දැහැන බිඳී ගියේ ජංගම දුරකථනය නාද වීමෙනි. ඔහු කිසිවිටක හෝ බලාපොරොත්තු නොවූ ඇමතුමක් ඔහුට ලැබිණ. ඔබේ මුදල් පසුම්බිය ළඟ තියෙනවා. කොහොමද දෙන්නේ. ඉංග්‍රීසි බසින් ලද ඇමතුමට වික්ෂිප්තව පිළිතුරු දුන් හමිෂ් හාඩින්ස් වේගයෙන්  තොරතුරු හුවමාරු කර ගත්තේය. ඊළඟ මොහොතේ දී ඔහු පුංචි පුතු සමග ගුවන් යානයෙන් බිමට බැස්සේය. කුලී වාහනයක් ගත් ඔහු කුරුණෑගල ගැට්ටුවාන ගම්මානය බලා පියඹා ගියේය.

හමිෂ් හර්ඩින්  මහතාට දුරකතනයෙන් කතා කළේ ගැට්ටුවානේ පදිංචිව සිටි සමරදිවාකර මහතාය. ඔහු  එවකට කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාය. ඔහු අතට එම මුදල් පසුම්බිය ලැබුණේ කෙසේද? සමරදිවාකර මහතාගේ  සොයුරියකගේ පුතණුවන් කෙනකු වන තිළිණ බණ්ඩාර දිසානායක එවකට 18 හැවිරිදි නව යෞවනයෙකි. තම සොයුරිය දුම්රියට ඇරලවීම සඳහා ඔහු යතුරුපැදියෙන් මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට ආවේය. එම මාර්ගයේ වැටී තිබූ මුදල් පසුම්බිය දැක එය අහුලාගත් තිළිණ වහාම ආවේ සමරදිවාකර මාමා හමුවටය. මුදල් පසුම්බිය මාමාට දුන් තිළිණ එය අහුලාගත් ආකාරය ද විස්තර කළේය. මුදල් පසුම්බිය විවර කර බැලූ සමරදිවාකර මහතාට පෙනී ගියේ එහි ඇමරිකන් ඩොලර් නෝට්ටු තොගයක් සහ තවත් විදේශීය මුදල් නෝට්ටු රැසක්ම තිබෙන බවය. ඊට අමතරව ලෝකයේ ඕනෑම. රටකින් ගනුදෙනු කළ හැකි ක්‍රෙඩිට් කාඩ් පත් රැසක්ම එහි විය.

පසුම්බියේ  හිමිකාරයාගේ හැඳුනුම්පත මෙන්ම ඔහුගේ විසිටින් කාඩ් පත් ද එහි තිබුණේය. හැඳුනුම්පතේ  හිමිකරු ‛ඇක්ෂන් එවියේෂන්' ගුවන් සමාගමේ නියමුවකු බව ද සඳහන් විය.  සමරදිවාකර මහතා වහාම එහි තිබූ කාඩ්පතක අංකයට ඇමතුමක්  ගත්තේය. විමතියට පත් හමිෂ් හාර්ඩින් මහතා වහාම කුරුණෑගල බලා පිටත් විය. සමරදිවාකර මහතාගේ නිවෙසට පැමිණි හමිෂ් හාර්ඩින් මහතා විමතියට  පත් වූයේ මුදල් පසුම්බියේ කිසිදු මුදලක් අඩු නැති බව දුටු විටය. මට මුදල්වලට වඩා වටින්නේ ලෝකයේ ඕනෑම රටකට පහසුවෙන් ගමන් කළ හැකි ගුවන්  නියමුවෙකු බව සඳහන් හැඳුනුම්පත ලැබීම නිසයි.

සමරදිවාකර මහතාටත් තිළිණටත් නොසැහෙන සේ  ස්තූති කරමින් ඔහු සඳහන් කළේය.

රටේ  ගෞරවය ඉහළින්ම ආරක්ෂා කළ තිළිණට විශේෂ ප්‍රණාමය පුදකළ හමීෂ් හාර්ඩින් මහතා බලවත් පෙරැත්තයකින් එක් ලක්ෂ තිස් දහසක මුදලක් ද ප්‍රදානය කළේය. අවංකකම ප්‍රදර්ශනය කළ සොඳුරු මිනිසුන් අතහැර යාමට නොහැකිව ඔහු එදින කුරුණෑගල නතර විය. තිළිණලා සමග ඇතුගල නැරඹීමට ද ගියේය. ඒ තම පුංචි පුතණුවන් සමගය. තම දරුවන්ට අසීමිත ලෙස ආදරය කරන ගුණගරුක පියෙකු බව තිළිණලා තේරුම් ගත්හ. ඔහු එදිනම යළිත් ගුවන් ගත වූ අතර කළ උපකාරයට ඕනෑම මොහොතක ප්‍රතිඋපකාර කිරීමට තමන් සූදානමින් සිටින බව ද දැඩිව ප්‍රකාශ කළේය. ඉන් වසර කිහිපයකට පසුව සමරදිවාකර මහතාගේ දෙවැනි දියණියට හමීෂ් මහතා ලන්ඩනයේ දී හමුවී තිබේ.
එම යුගයේ දී උසස් අධ්‍යාපනය හදාරමින් සිටි තිළිණ ගැන  “ලංකාදීප” පුවත්පතෙන් දුටු ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ඔහුගේ ක්‍රියාව අගය කරමින් සහතික පත්‍රයක් ද ප්‍රදානය කළේය. ටයිටැන් සබ්මැරිනයේ තොරතුරු සොයමින් අන්තර්ජාලයේ සැරිසැරූ තිළිණ එම සබ්මැරීනයේ ගමන් කරමින් සිටි පස්  දෙනාගෙන් එක් බිලියනපතියෙකු තමන්ට හමුවූ මුදල් පසුම්බියේ හිමිකරු බව දැනගත් තිළිණ විමතියට පත්විය. තිළිණ වහාම සමරදිවාකර මහතාට මෙම ආරංචිය ලබාදුන් අතර ඔහු හට මේ සිද්ධිය පැවසුවේය. සමරදිවාකර මහතා මේ වනවිට ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගෙන වැවිලිකරුවෙකු හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රකට සමාජ සේවකයකු ලෙස කටයුතු කරමින් සිටී. 28 වැනි වියේ පසුවන තිළිණ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරමින් සිටින අතර තව නොබෝ දිනකින්ම විවාහවීමට නියමිතය.

“හමීෂ් මහතාට මේ සිදුවුණ දේ ගැන අපේ පවුලේ සාමාජිකයන්ට හරිම කනගාටුයි.

මේ අවාසනාවන්ත සිදුවීමත්  සමඟ ඔහු අපේ ජීවිතේ අපට අමතක නොවන චරිතයක් වේවි. ඔහු අපට හමුවන විටත් ධනවත් පුද්ගලයකු වගේම ලෝක වාර්තා රැසකට හිමිකම් කියූ පුද්ගලයකු වුවත් ඒ කිසි දෙයක් ඔහු අපට පැවසුවේ නැහැ. ඔහු ඒ තරමටම නිරහංකාර පුද්ගලයෙක් වුණා. ඔහු කවරෙක්දැයි අප යාන්තමට හෝ දැන ගත්තේ මගේ දියණියකට ඔහු ලන්ඩන් නුවර දී හමුවූ අවස්ථාවකයි. ඔහු අපටත් තිළිණ පුතාටත් අවශ්‍ය ඕනෑම උදව්වක් ඉල්ලන්න කීවත් අප එවැනි උදව් කිසිවක් ඔහුගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. අපට අවශ්‍ය වුණේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ අවංකකමත් රටේ ගෞරවයත් රැක දීම පමණයි.

මේ ආකාරයටම ඉන් පසු කාලයක දී කුරුණෑගල ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගිය අවස්ථාවක දී  කවුරුන් හෝ අමතක වී දමා ගිය වටිනා රන් මාලයක් මට හමුවුණා. මම එය අයිතිකරුට ආපසු බාර දෙන ලෙස දන්වමින් රෝහල් කාර්ය මණ්ඩලයට බාර දුන්නත් එය එසේ නොවූ බව පසුව මට දැනගන්නට ලැබුණා. අප අවංක වුවත් හැමෝම එසේ නොවන බව මම ඒ සිදුවීමෙන් පසුව තේරුම් ගත්තා." යැයි මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස්  දක්වමින් සමරදිවාකර මහතා ප්‍රකාශ කළේය. එදා ඇක්ෂන් එවියේෂන් ගුවන් සමාගමේ ගුවන් නියමුවකුව සිටි හමීෂ් මහතා මුහුදු පතුලේ සැගවෙන විට එම සමාගමේ හිමිකරුය. ලෝකයේ හැටි එහෙමයි.

පුෂ්පකුමාර ජයරත්න