hanguranketha-tense

සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් 200කට අධික පිරිසක් හඟුරන්කෙත පොලිස් ස්ථානය වටකර ති‌බේ.
ඊයේ (26) රාත්‍රීයේ කාලයේ කාත්තා හා පිරිමි පුද්ගලයින් පිරිසක් එලෙස හඟුරන්කෙත පොලිස් ස්ථානයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව පොලීසිය පවසයි.පොලීසිය විසින් සිදුකරන විමර්ශන පිළිබඳ දැනුවත් කර තිබිය දීද එම පිරිස කලහකාරීව හැසිරී ඇති අතර, තවදුරටත් ප්‍රකෝප වූ පිරිස් පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව පෙරළා පොලීසිය තුළට ඇතුළුවීමට උත්සාහ දරා ඇත.

එම පිරිසෙන් වැඩිදෙනෙක් මත්පැන් පානය කර සිට ඇති බව පොලීසියට නිරීක්ෂණය වූ බව ද සඳහන් කර ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය එම ස්ථානයේ සිටි පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් ද පොලීසිය තුළට එල්ල කර ඇති බව සඳහන් කර ඇත.


එම පිරිසේ කලහකාරී හැසිරීම අනුව පොලිස් ස්ථානයට ඇතුළු වුවහොත් සිදුවිය හැකි හානිය සහ රාජකාරි කටයුතුවල නියුතු නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුකර තත්ත්වය පාලනය කිරීම සඳහා ස්ථානාධිපතිවරයාගේ නියෝග පරිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අහසට වෙඩි ප්‍රහාර 38ක් පමණ එල්ල කර තිබේ.

එම වෙඩිතැබීමෙන් පසු කලහාකාරී පිරිස පොලිස් භූමියට ඇතුළු වීමෙන් වැළකී හඟුරන්කෙත - මහනුවර ප්‍රධාන මාර්ගයේ රැඳී සිටිමින් පැයකට ආසන්න කාලයක් විරෝධය දක්වා විසිර ගොස් ඇත.

එම සිදුවීම සම්බන්ධයෙන් ජීවිත හානි හෝ පුද්ගලයින්ට තුවාලවීම් කිසිවක් සිදුව නොමැති අතර පොලීසියේ ප්‍රධාන ගේට්ටුව පෙරළා දැමීමෙන් අලභහානි සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.



කලහාකාරී ලෙස හැසිරුණු පිරිස හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා හඟුරන්කෙත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

හඟුරන්කෙත පොලිස් වසමේ දියතිලකපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පහරදීමකින් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (25) මියයෑමේ සිදුවීමකට අදාළව හඟුරන්කෙත පොලීසිය මඟින් විමර්ශන සිදුකර පහරදීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් 8දෙනෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කරමින් සිටිය දී ඊයේ රාත්‍රීයේ අදාළ පිරිස මෙලෙස කලහාකාරී ලෙස හැසුරුණු බව පොලීසිය සඳහන් කරයි.