health-ministry-1794-vehicle

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1,794 ක් අස්ථානගත වී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. අමාත්‍යාංශයේ වාහන 259 ක් බාහිර පාර්ශ්වයන්ට පවරා දී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වන බව පැවසූ කෝපා කමිටු සභාපතිවරයා වාහන පරිපාලනය සම්බන්ධයෙන් වන දත්ත පද්ධතියේ අඩුපාඩු පිළිබඳව ද විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය. මෙම වාහන අතර මෝටර් රථ 679 ක් සහ යතුරුපැදි 1115 ක් ඇති බවත් එම මෝටර් රථ බොහොමයක් අමාත්‍යාංශය සන්තකයේ නැති බව දැනගන්නට ලැබීමෙන් අනතුරුව ඒවාට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවත්වන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් ඉකුත් දා පාර්ලිමේන්තුවේ පැවැති රාජ්‍ය ගිනුම් කාරක සභා රැස්වීමේදී පැවසුවාය.



ඒ අනුව මේ වාහනවලට අදාළව ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතා ඇතැයි ද ඇය කීවාය. මෙම වැඩ පිළිවෙළ හරහා වාහන 425ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූවත් ඒවා වෙන්දේසි කර අපහරණය කළා දැයි සොයා ගැනීමට අපහසු බවද එම රැස්වීමට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු පැවසූහ. යතුරුපැදි 1115න් තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ එකොළහක් සම්බන්ධයෙන් පමණක් බව පැවසූ එම නිලධාරීහු මෙම යතුරු පැදි බොහොමයක් ක්ෂේත්‍ර නිලධාරීන්ට නිකුත් කෙරුණු ඒවා බව ද සඳහන් කළහ.

ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි ලබා දෙන්නේ ගිවිසුම්ගතව බවත් විශ්‍රාම යෑමෙන් පසු පෞද්ගලිකව ගෙන යෑමට ඒ අනුව අවසර හිමිවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.  එම යතුරු පැදි සම්බන්ධයෙන් ද ඉදිරි කටයුතු කරගෙන යනබව එහිදී සඳහන් විය. මෙම වාහන බොහොමයක් 1950 සිට 1996 දක්වා කාලය තුළ ලියාපදිංචි කෙරුණු වාහන බව කෝපා කමිටුව පවසයි.

වාහන පරිපාලන පද්ධතිය සම්බන්ධයෙන් කෝපා කමිටු සභාපතිවරයා කළ විමසුමක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් සඳහන් කළේ එම පද්ධතිය ක්‍රියාත්මක කරගෙන යන බවයි. වාහන අස්ථානගත වීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස කෝපා කමිටු සභාපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගිය දා කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය. මෙම කාරක සභා රැස්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
(අංජුල මහික වීරරත්න)