kadugannawa-incident

කඩුගන්නාව, සියඹලාගොඩ ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් සමූහ අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සමග ත්‍රිරෝද රථයක් පෙරේදා (30දා) අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලීසිය පවසයි. තරුණිය ලබාදුන් ප්‍රකාශයට අනුව තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන පවත්වමින් සිටී. එම තරුණිය දන්තුරේ පිළිමතලාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී අදාළ තරුණයන් පිරිස ත්‍රිරෝද රථයකින් පැමිණ තමන් බලහත්කාරයෙන් එයට නංවාගෙන දොළුව ප්‍රදේශයේ වැවක් අසලට රැගෙන ගොස් අපයෝජනයට ලක් කළ බව තරුණිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.



සිද්ධියෙන් පසු එම තරුණයන් පිරිස තමන්ව නැවතත් ත්‍රිරෝද රථයේ නංවාගෙන අතරමග දමා ගිය බවත් ඉන් අනතුරුව සිහිමුර්ජා තත්ත්වයට පත්වීම හේතුවෙන් නිවැසියන්  විසින් තමන්ව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද අගතියට පත් තරුණිය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.   එම තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමටද  නියමිතව තිබේ.  අත්අඩංගුවට පත් තරුණයන් දෙදෙනා පොලීසියට පවසා ඇත්තේ එම තරුණිය තමත් දන්නා හඳුනන අයකු බවත් සිද්ධිය වූ ඉකුත් 29වැනිදා පස්වරුවේ ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී ඇය මාර්ගයේ ගමන් කර සිටි බවත් ඇයගේ කැමැත්ත මත දොළුව ප්‍රදේශයට ඇය රැගෙන ගිය බවත්ය. දොළුව ප්‍රදේශයේ වැවක් අසබඩ එම තරුණිය සමග ගත කිරීමෙන් අනතුරුව ඇය තම නිවසට යාමට නොහැකි බව පවසා ඇයගේ ඉල්ලීම මත වෙනත් නිවසකට රැගෙන ගිය බවද සැකකරුවන් පවසා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසියේ අපරාධ අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ෂේන් සෙනෙවිරත්න