kaduwela-incident

යතුරුපැදියකින් ගොස් මහමග ගමන් ගන්නා පුද්ගලයන්ගේ දුරකතන සොරාගත් පුද්ගලයකු සහ ඔහුගේ අනියම් බිරිය බව කියන කාන්තාවක රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා ස්මාර්ට් ජංගම දුරකතන තිහක් ද සමගින් අත්අඩංගුවට දී ගත් බව කඩුවෙල පොලීසිය පවසයි. සැකකරුවන් ජංගම දුරකතන සොරා ගෙන පලා යාමට භාවිත කළ යතුරුපැදිය ද මිතුරකුගෙන් සොරා ගෙන ඇති බව ද පොලීසිය කියයි. හෙරොයින් භාවිතයට දැඩිව හුරු වී ඇතැයි කියන මෙම යුවළ හෙරොයින් මිලදී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමට මෙලෙස නවීන ජංගම දුරකතන සොරාගෙන, විකුණා ඇතැයි ද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.



සැකකරුගේ අනියම් බිරිය බව කියන කාන්තාව හෙරොයින් ග්‍රෑම් පහක් සමගින් මාලබේ පිට්ටුගල ප්‍රදේශයේදී පළමුවෙන්ම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ජංගම දුරකතන සොරකම පිළිබඳව අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගේ නීත්‍යනුකූල බිරිය ද කහන්තොට ප්‍රදේශයේ කුලී නිවෙසක නවත්වා, අනියම් බිරිය ද එම ප්‍රදේශයේම කුලී නිවෙසක නවත්වා ඇති අතර, ඇය ද හවුල් කරගනිමින් ජංගම දුරකතන කොල්ලකෑම කර ඇතැයි කඩුවෙල පොලීසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.



සැකකරු ටැටූ ශිල්පියකු ලෙස කලක් කටයුතු කර ඇති අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් පසුව මෙලෙස සොරකම් සඳහා පෙළැඹී ඇතැයි ද අනාවරණය වී ඇත.  මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වන 29 හැවිරිදි කාන්තාවක සහ ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 27 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.
  කේ. බුද්ධික කුමාරසිරි