kamburupitiya-incident

පොලිස් සැරයන්වරියක සමග පැමිණි පිරිසක් කඹුරුපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි සිසුවකු සිය මෝටර් රථයට නංවාගෙන ගොස් තම දියණිය සමග ඇති ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙසට තරිජනය කර පහරදීම හේතුවෙන් සිසුවා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි කඹුරුපිටිය පොලිසිය කියයි.



එම සිසුවාගේ ඇසට සිදු වූ තුවාලයක් හේතුවෙන් ඔහු රෝහලේ හතරවැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව කඹුරුපිටිය මූලික රෝහල පවසයි. පහර කෑමට ලක් වූ පාසල් සිසුවා ඉකුත් විසි වැනිදා පාසල නිම වී පිටතට පැමිණි අවස්ථාවේ පාසලේ ගේට්ටුව අසල දී පොලිස් සැරයන්වරිය ඇතුළු පිරිස මෝටර් රථයට නංවාගෙන ගොස් පහර දී කඹුරුපිටිය සතොස ආයතනය අසල දමා ගොස් ඇතැයි කියන සිද්ධිය සම්බන්ධව සිසුවාගේ දෙමව්පියන් කඹුරුපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

අනතුරුව දෙපාර්ශවයම කැඳවා විමර්ශනයක් කර සිද්ධිය සමථයකට පත්කර ගැනීම සඳහා සැරියන්වරිය සිසුවාගේ පියාට රුපියල් දස දහසක මුදලක් ලබාදුන් බවද සිසුවාගේ දෙමවුපියෝ පැවැසූහ.
පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පොලිස් සැරයන්වරිය කඹුරුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන බවත් ඇය මෙයට පෙර අවස්ථාවකදී ද සිසුවාගේ පියාගේ සේවා ස්ථානයට ගොස් සිසුවාට චෝදනා කරමින් පියාට තර්ජනය කළ බව ද ඔහුගේ දෙමවුපියෝ සඳහන් කළහ.


පහර කෑමට ලක් වූ සිසුවා 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත බවද සිසුවාගේ පියා පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳව මාතර සහකාර පොලිස් අධිකාරි (II) මහේෂ් පෙරේරා මහතා යටතේ විශේෂ විමර්ශනයක් සිදු කරන බව මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතා පැවසීය.