kesbewa-incident

අනියම් ඇසුරක් පැවැත් වූ කාන්තාවට සහ ඇයගේ දියණියට ඊයේ (23) දහවල් නියනකින් ඇඟ තුවාල සිදුකළ පුද්ගලයකු එම නියනෙන්ම උදර ප්‍රදේශයට ඇන ගැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලද 46 හැවිරිදි කාන්තාව සහ ඇයගේ 16 හැවිරිදි දියණිය ද රෝහල් ගත කර ඇත.
සැකකරු ඇනීමට යොදාගත් නියන පොලිස් බාරයට ගෙන ඇත.
කැස්බෑව මාකන්දන වැලිතොටුවවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකාර පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි මෙම කාන්තාව සමග අනියම්
ඇසුරක් දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගොස් තිබූ අතර ඇයගෙන් වරින්වර මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් කාන්තාව විසින් ඊයේ (23) පොලිසිය වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.


පැමිණිල්ල සිදුකර නිවෙසට පැමිණීමෙන් අනතුරුව කාන්තාව ඇයගේ දියණිය සමඟ ගමනක් යාම සඳහා නිවසින් පිටව මාර්ගයට පැමිණීමේ දී ඔවුන් ඉදිරියට පැමිණ තිබූ සැකකරු සඟවාගෙන සිටි නියනෙන් කාන්තාවට සහ ඇගේ දියණියට ඇන අනතුරුව ඔහු ද එම නියනෙන්ම උදර ප්‍රදේශයට ඇන ගෙන තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.
තුවාල ලද තිදෙනාම අසල්වාසීන් විසින් පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර අසාධ්‍ය තත්වයේ සිටි සැකකරු දැඩි සත්කාර ඒකකයට වැඩි දුර ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි වාර්තා විය.


සැකකාර පුද්ගලයා 56 හැවිරිදි වඩු බාස්වරයෙකු බව පොලිසිය කියයි.
කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ කතා ගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක වීරවර්ධන, පොලිස් කොස්තාපල්වරුන් වන93726 බාල කුමාර්, ගල්කිස්ස කොට්ඨාස බුද්ධි ඒකකයේ කොස්තාපල් 97324 දිසානායක මහත්වරු පරීක්ෂණ පවත්වති
 (බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)