kompanna-street

කොම්පඤ්ඤවීදිය  ප්‍රදේශයේ ඉදිකර ඇකි අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක, නිවසත් දෙන බව පවසා මෙරට ප්‍රධානපෙළේ පුද්ගලික සමාගමකින් රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන ඉන්දීය ජාතිකයකු

රටින් පලායාමට උත්සාහ කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ඒකකය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඉකුත් සිකුරාදා (15) අත්අඩංගුවට ගනු ලැබ ඇත.



මෙම ඉන්දීය ජාතිකයා ද මෙරට ප්‍රධානපෙළේ නිවාස ඉදිකිරීම් සමාගමක අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙරට සමාගම සැකකාර ඉන්දීය ජාතිකයාට අයත් සමාගමෙන් නිවෙස් දෙකක් මිලදී ගැනීම සඳහා මුදල් ගෙවා ඇති අතර ඉන් එක් නිවසක් ලබාදී අනෙක් නිවස ලබා නොදී වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ සමාගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර  ඇත.



මෙම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ (1) විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගුවන් ගමන් තහනමක්ද ලබාගෙන තිබූ බව එම ආරංචි මාර්ග කියයි. සැකකරු ඉකුත් 16 වැනිද පස්වරුවේ විදෙස්ගතවීමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ඩී.එන් චන්ද්‍රා (37) නමැති ඉන්දීය ජාතිකයෙකි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.