kosgoda-murder

කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේදී ඊයේ (21දා) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් ඩුබායි, හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ සුජීගේ ඥාති සොහොයුරකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ රන් මහත්තයා නමැති අයකු බවත් ඔහු ඊයේ උදෑසන 05.30 ට පමණ නිවසේ ගේට්ටුව විවෘත කරන අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවත් කොස්ගොඩ පොලිසිය සඳහන් කරයි.



යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. මරණකරු බීච්බෝයි කෙනකු ලෙස ජීවිකාව ගෙන ගොස් ඇති බවත් බිරිඳ හා දරුවා මොහුගෙන් වෙන්වී උඩවලව ප්‍රදේශයේ ජීවත් වන බවත් විමර්ශන මගින් අනාවරණය වී තිබේ.

මොහු වසර දහයක පමණ කාලයක් මෙම නිවසේ තනිව ජීවත්ව ඇති අතර මෙය කොස්ගොඩ සුජීගේ ප්‍රතිවාදියකු වන රත්ගම විදුර නමැති පාතාල නායකයාගේ අනුදැනුම මත සිදුවූ ඝාතනයක් බවටත් සැක කෙරේ.

කොස්ගොඩ සුජීගේ කල්ලියේ මෙහෙයවීමෙන් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයකුට පසුගියදා වෙඩි තබා තිබුණු අතර එලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූයේ විදුර ගේ මස්සිනාය. මෙම වෙඩි ප්‍රහාරයට පළිගැනීමක් ලෙස විදුර විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි සැක කෙරේ.

ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්තගේ මෙහෙයවීම යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ පිළිබඳ විමර්ශන සිදුකරති.

එෆ්.අස්ලම්