lawyer-negombo

මහේස්ත්‍රාත් අධිකරණයේ නීති වෘත්තියේ නියැලී සිටින කනිෂ්ඨ නීතිඥවරියකට අධිකරණ පරිශ්‍රය අසලදී අතවර කිරීමට තැත් කරන ලදැයි කියන සිද්ධියක විවාහකයකුට ඇප ලබාදීම  ප්‍රතික්ෂේප කළ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික  රාජපක්ෂ මහතා සැකකරු අද 19 වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට 16 වැනිදා නියෝග කළේය.  මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ වෙන්නප්පුවේ පදිංචිකරුවකු වන ජයසූරිය අයිවෝ චාමික (42) නමැත්තෙකි.



සැකකරුට එරෙහිව මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය ගොනු කළ පැමිණිල්ලේ සඳහන් පරිදි මෙහි පැමිණිලිකාරිය වන තරුණ නීතිඥවරියගේ ගෙල ප්‍රදේශයේ කුරුල්ලකුගේ සලකුණක් සහිත පච්චයක් කොටා තිබූ අතර මෙම සිද්ධිය වන අවස්ථාවේ නීතිඥවරිය තම සේවාදායකයාට අධිකරණයේ දඩ මුදල් ගෙවන ස්ථානය පෙන්වීමට ඇය එහි පැමිණ ඇති බව අධිකරණයේ දී අනාවරණය විය.

එම ස්ථානයේ සිටි සැකකරු නීතිඥවරියගේ ගෙලෙහි වූ පච්චය ‛දැක‘ ඔයා හරි ලස්සනයි' කියමින් කෑගසා ඇතැයි හෙළිවිය. එම අවස්ථාවේදී ඇය තමා නිතිඥවරියක් යැයි පවසා ඔහුගෙන් ගැලවී අසලවූ අධිකරණ ශාලාව වෙත ගමන් කරද්දී ඇය පසුපස ලුහුබඳිමින් ඔයා හරි ලස්සනයි, හැම පැත්තෙන්ම බැලුවත් ලස්සනයි' කියමින් තවත් නොමනා වදන් කියමින් ඇයට අතවර කළ බවට පැමිණිල්ලේ සඳහන් වේ.



වහ වහා අධිකරණ ශාලාව වෙත ගිය නීතිඥවරිය තමාට එල්ලකළ පරිභවය පිළිබඳව අධිකරණයේ පොලිස් නිලධාරීන් සහ නීතිඥවරුන්  දැනුවත් කර ඇත. එහිදී පොලිස් අත්අඩංගුවට ගැනුණු සැකකරු මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් කර 'බී' වාර්තාවක් මගින් අධිකරණය හමුවට පමුණුවනු ලැබ සිටියේය. මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පැමිණිල්ල මෙහෙයවීය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ, නීතිඥවරියෝ 100 කට අධික පිරිසක් පෙනී සිටියහ.
විමල් කීර්ති