lohan-speaks

මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් දේශපාලනයේ නියැළීම අවශ්‍ය නොවන බවත් දැන් ඔහු විශ්‍රාම සුවයෙන් සිටිය යුතු කාලය එළැඹ ඇති බවත් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත පවසයි. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී අග්‍රාමාත්‍ය ධුරය ලබාගැනීමේ සූදානමක් තිබේදැයි මාධ්‍යවේදීන් ඊයේ (22දා) ඇමැතිවරයාගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඒ මහතා ඉහත අදහස් පළ කළේය. මේ රටට මහින්ද රාජපක්ෂ මහතා තරම් සේවයක් කළ වෙනත් නායකයකු නොමැති බවත් තවමත් මේ රටේ ජනප්‍රිම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ බවද රාජපක්ෂ මහතා දැන් විශ්‍රාම ගත යුතු බවද ඒ මහතා කීය.



ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර කිසිදු මතභේදයක් නොමැති බවත් රටේ ජනතාවගේ යහපත පිණිස අවශ්‍ය නම් එ.ජා.ප.ය හා පොහොට්ටුව එක්ව ගමනක් යෑමට සූදානම් බවත් හෙතෙම අවධාරණය කළේය.

මැතිවරණයක් ලබා දෙන්නේ ජනතාවට අවශ්‍ය වෙලාවට මිස අරගලකරුවන්ට ඕන වෙලාවට නොවේ යැයිද ඒ මහතා කීය.

බල කිරීම් මඟින් මැතිවරණ දිනා ගැනීමට නොහැකි බව විපක්ෂය තේරුම් ගත යුතු යැයිද දේශපාලනඥයෝ කිහිපදෙනකුට පමණක් අවශ්‍ය වුවද රටේ ජනතාවට මැතිවරණයක් අවශ්‍ය නොමැති බවද රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවේය.

ජනතාව ප්‍රතික්ෂේප කරන දිනක දේශපාලනයෙන් ඉවත් වීමට තමන් සූදානම් බවත් එසේ නොමැතිව අරගලකරුවන්ට බයේ දේශපාලනය අත් හැරීමට තමන් සූදානම් නැති බවත් රත්වත්තේ මහතා කීවේය.



අමාත්‍ය ධුර නොමැතිව පෙරමුණේ කිහිපදෙනෙක් කලකිරීමෙන් සිටින බවට පළවන පුවත් පිළිබඳ තමා කිසිවක් නොපවසන බවත් සුදුසු අය හට සුදුසු වේලාවේදී අමාත්‍ය ධුර ලැබේ යැයි තමා සිතන බවත් සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, කෙසේ වුවද මේ වන විට පොදු පෙරමුණේ දෙවැනි පෙළ කණ්ඩායමක් නැඟීසිටිමින් ක්‍රියාත්මක වෙමින් සිටින බවය.