මානුෂිය මෙහෙයුම පැවැති සමයේදී එල්.ටී.ටී.ඊ. ත්රස්ත්රවාදීන් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදුන් ඔත්තුකරුවන් ඝාතනය කිරීමට විදෙස් ගතව සිට ක්‍රියාත්මක වූ සූක්ෂම මෙහෙයුමක් අනාවරණය කරගත් බව පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (20 ) දන්වා සිටියේය.
මානුෂිය මෙහෙයුමේ අවසන් කාලයේ දී එල්.ටී.ටී.ඊ, ත්රස්තවාදීන් විසින් වළදමා තිබූ බෝම්බ සහ අවි ආයුධ ගොඩගෙන, ඒවා මගින් ඔත්තුකරුවන් ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, අධිකරණය වෙත දන්වා සිටියේය.
එම ඝාතන සැලැස්මේ මෙහෙයුමට සම්බන්ධ, මෙරට රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙක් සහ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්බව දන්වා සිටි පොලිසිය, ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී අනාවරණය කරගත් තොරතුරු මත බෝම්බ කිහිපයක් සහ පිස්තෝල 03ක් අත්අඩංගුවට ගත් බව ද අධිකරණයට දන්වා සිටියේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස් සම්බන්ධ කරගෙන අදාළ ඔත්තුකරුවන් ඝාතනය කිරීමට සැලසුම් දියත් කර තිබූ බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ජාත්‍යන්තර පොලිසිය හරහා නිල් නිවේදන නිකුත් කර සිටියදී ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන, එරටින් මෙරටට පිටුවහල් කරන ලද මුතූර් ප්‍රදේශයේ පදිංචි සෙල්වා පාක්යයන් සුදාකරන් නමැති සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් ත්රස්ත්රවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්, එම තොරතුරු අනාවරණය කළේය.
අදාළ සැකකරු 2009 වසරේ දී විදෙස් ගතවී තිබෙන බවත්, එලෙස විදෙස් ගතවී ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රිකුණාමලය ප්‍රදේශය භාරව සිටි ප්‍රබල ප්‍රාදේශීය නායකයකු වන ඉලෛක්කිනියම් මාස්ටර් නමැති අය සමග බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
අදාළ සැකකරු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ද අධිකරණය නියෝග කළේය.
(ඉෂාර රත්නකාර)
0 Comments