maha-wansa-book-unesco

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ ඇති මහාවංශය පුස්කොළ පොත යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. යුනෙස්කෝ සංවිධානයේ නිල වෙබ් අඩවිය පසුගිය 24 වැනි දින ප්‍රකාශයට පත් කළ ලෝක උරුම ලැයිස්තුවට මහාවංශය ඇතුළත් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති ආචාර්ය ආර්. මහේෂ්වරන් මහතා පැවැසීය.

මෙරට ඇති පැරණි පුස්කොළ පොත් සොයා 1960 දශකයේදී සිදු කළ සමීක්ෂණයකදී මෙම පුස්කොළ පොත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට ලැබී ඇති අතර එම පුස්තකාලය සතුව ඉපැරණි පුස්කොළ පොත් 5200ක එකතුවක් තිබෙන බව ද ආචාර්ය ආර්. මහේෂ්වරන් මහතා කීවේය.

පරිච්ඡේද 99කින් සමන්විතව පත්තිරු 237කින් යුක්ත එම මහාවංශ පුස්තකය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට යටත් වන තෙක්ම ලියා තිබෙන බවත්, මහනුවර රාජධානි සමයේ අවසාන භාගයේ මල්වතු පාර්ශ්වයේ හිටපු මහා නායක තිබ්බටුවාවේ මහ නාහිමියන්ගෙන් පසු ඉදිරියට එය ලියන ලද භික්ෂූන් වහන්සේගේ නම පිළිබඳ සඳහනක් නොමැති බවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශාධිපති මහාචාර්ය රෝහිත දිසානායක මහතා සඳහන් කළේය.

මහාවංශය පිටපත් දිවයිනේ ස්ථාන කීපයකම දක්නට ලැබෙන බවත් ඒවා සියල්ල නිරීක්ෂණය කර වාර්තාවක් සකස් කිරීම සඳහා රජය කමිටුවක් පත්කර ඇති බවත් ඔහු කීවේය. ඒ අනුව මහාවංශයේ පැරණිතම මෙන්ම අංගසම්පූර්ණ පුස්කොළ එකතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතුව තිබෙන මෙම මහාවංශ පුස්තකය බවට එම කමිටුව විසින් ද නිර්දේශ කරනු ලැබ ඇත.

ෂේන් සෙනෙවිරත්න