mahiyangana-incident

පාසල් නිවාඩුව අවසන් වී මහියංගණය ජාතික පාසලට ඊයේ (12 වැනිදා) පැමිණි සිසු සිසුවියන්ට අධ්‍යාපන කටයුතු පසෙක දමා ක්‍රීඩා පිටියේ පෙරදින පැවැති සංගීත ප්‍රසංගයට පැමිණි පිරිස තැන තැන විසිකර තිබූ හිස් මත්පැන් බෝතල් ඇතුළු කසළ ඉවත් කිරීමට සිදුවීම සම්බන්ධයෙන් දෙමාපියෝ සිය විරෝධය පළ කළහ.



මහියංගණය ජාතික පාසලේදී පෙරේදා (11 වැනිදා) රාත්‍රියේදී දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැති අතර, ඊට විශාල පිරිසක්ද සහභාගි වූහ.

පාසල් නිවාඩුව අවසන්ව විදුහලට උදෑසන පැමිණි සිසුන්ට විදුහලේ ගුරුවරයකු නියෝග කර සිටියේ ක්‍රීඩා පිටියේ තැන තැන විසිකර තිබූ කැළි කසළ ඉවත් කරන ලෙසය.

පිරිසුදු කිරීම් දරුවන්ට අදාළ නොවන බවත්, එය පාසල් ක්‍රීඩාංගණය ලබාදුන් බලධාරින්ගේ වගකීම බවත්, මවුපියෝ ආවේගයෙන් කියා සිටියහ.

ප්‍රසංගය පැවැත්වීම වෙනුවෙන් පාසලට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවත්, පාසලේ යම් දේපළකට අලාභහානි සිදු වුවහොත් අයකර ගැනීම සඳහා වෙනම රුපියල් පනස් දහසක මුලක්ද පාසල මගින් ලබාගෙන ඇති බව දෙමාපියෝ පැවසූහ.

රංජිත් කරුණාවීර - මහියංගණය