maithripala-jude-sramantha

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය ධූර කාලයේදී මුදාහරින ලද මරණ දණ්ඩනය නියමවී සිටි කෝටිපති පවුලකට අයත් ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට එලෙස ජනාධිපති විශේෂ සමාවක් ප්‍රදානය කළ නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති ලේකම්වරිය සඳහන් කර ඇතැයිද එසේ තිබියදීත් ජනපති වරයාගේ බලතල පාවිච්චි කර මුදාහැරීම සිදු කර ඇතැයිද
නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන පරික්ෂා කිරීමේදී අනාවරණය වූ බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (09) පැවැසීය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.
ජූඩ් ශ්‍රමන්ත ජයම්හ නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව කාන්තා එකමුතුව සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.


කාන්තා එකමුතුව සංවිධානය විසින් ගොනු කරන ලද මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.
ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ලිපි ගොනු නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ඊයේ ගොනු කෙරිණි. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ මරණ දඬුවම නියම වූවකුට ජනාධිපති සමාව ලබා දීමේදී අනුගමනය කළ යුතු බවට සඳහන් ව්‍යවස්ථාවේ පටිපාටිය අනුගමනය නොකර ඇති බවයි.
මේ පිළිබඳ වැඩිදුර විභාගය මෙම මස 12 දිනට කල් තැබිණ.