meewanapalana-boy

තම පාසලටම විදුලිය ලබා දීම සදහා පරිපථයක් නිර්මාණය කිරීමට හොරණ ප්‍රදේශයේ පාසල් සිසුවෙක් සමත් වී සිටී. පබසර විසල් ජයතිලක ඉගෙනුම ලබන්නේ හොරණ අධ්‍යාපන කලාපයේ මීවනපලාන මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේය. ඔහු ට්‍රාන්ස්ෆෝමරයක් සම්බන්ධකර එමගින් බැටරියක් ආරෝපණය කර විදුලිය නිපදවිය හැකි නව අපවර්ථකයක් නිර්මාණය කර ඇත. මිල්ලෑව ගොරොක්ගොඩ අංක 255 නිවසේ පදිංචි පබසර විසල් ජයතිලක සිසුවා මෙසේ කීවේය.

‘මම පුංචි කාලේ ඉඳලාම ඉලෙක්ට්‍රොනික ක්‍ෂේත්‍රයට කැමතියි. ඒ නිසා මං නිතරම අත්හදා බැලිම් සිදුකරනවා. මම තනියම තමයි හැම දෙයක්ම ඉගෙන ගන්නේ. නිතරම අන්තර්ජාලය සහ යූටියුබ් භාවිතයෙන් දැනුම සොයා යනවා. මෙවර මම කළේ ට්‍රාන්ෆෝමරයකින් බැටරියක් ආරෝපණය කර විදුලිය ලබා ගැනීමේ උපකරණයක්. මේ සඳහා මට අත්හදා බලමින් අවුරුදු දෙකක පමණ කාලයක් ගියා. මෙම පරිපථය තුළින් විදුලිය නොමැති අවස්ථාවල පැය හය හතක් වුණත් විදුලිය ලබා ගැනීමේ  හැකියාව තිබෙනවා.



නිවසේ ප්‍රධාන විදුලි පද්ධතියට මෙය සවිකර ගන්න පුළුවනි. දැනට මේ පද්ධතියට වොට් 500ක පමණ විදුලි ධාරිතාවක් උත්පාදනය කර ගැනීමට හැකියාව තිබෙනවා. මේවන විට විදුලිය සඳහා අපට විශාල මුදලක් වැයවෙනවා. ඉදිරියේදී මගේ බලාපොරොත්තුව තිබෙන්නේ පාසලට මේ පද්ධතිය සවි කරලා විදුලි බිල අවම කරන්නයි. ඒ සඳහා රුපියල් ලක්‍ෂ 5ක පමණ මුදලක් වැයවෙනවා. මගේ අනාගත බලාපොරොත්තුව තව තවත් නව නිපැයුම් කළහැකි දක්‍ෂ ඉංජිනේරුවකු වීමය.

විද්‍යාලයේ මාධ්‍ය ඒකකය බාර ප්‍රියන්ති අමරසේන ගුරුතුමිය මෙසේ කීවාය.

පාසලේ අක්‍රිය තත්වයේ පවතින විදුලි පංකා විදුලි බල්බ සහ පරිගණක උපකරණ අලුත්වැඩියා කිරීමට පබසර කටයුතු කරනවා. මෙම දරුවා පාසලට පමණක් නොව මුළු රටටම සම්පතක්. එමෙන්ම රජයේ හෝ පෞද්ගලික  අංශයේ අවධානය යොමුව මෙම නිර්මාණය දියුණු කර ගැනීම සඳහා අතහිත ලැබෙන්නේ නම් එය නවෝත්පාදන ක්‍රියාවලියේ නිරත මෙවැනි හපනුන්ට මහත් දිරියක් වනවා.


පබසරගේ මව වන කල්පනා දිසානායක මහත්මිය මෙසේ කීවාය.



‘පබසරට අවුරුදු දෙකේ පමණ සිට ඔහුට ගෙනවිත් දෙන සෙල්ලම් බඩු ගලවා ගලවා නැවත සකස් කිරීමට කටයුතු කරනවා. ඔහු තුළ කුඩා කාලයේ සිටම කුතුහලයක් තිබුණා මේ බඩුවල ඇතුල කොහොමද බලන්නට. ඇතැම් දවස්වල උදේට ගෙනත් දෙන සෙල්ලම් බඩු හවසවෙන කොට ගලවලා ඉවරයි. රෝදෙන් රෝදෙ ඇණෙන් ඇණේ කවරෙන් කවරේ ගලවනවා. ඒත් ඒ කිසිම අවස්ථාවක අපි තරවටු කළේ නැහැ. ගහන්න බනින්න ගියේ නැහැ. එයාටම අත්හදා බලන්න අවස්ථාව දීලා තිබුණා.

ඊට පසුව එයා ලොකු වෙන්න ලොකු වෙන්න ගෙදර තිබෙන විදුලි උපකරණ පවා ගලවලා සවිකරන්න ගත්තා. එතැනදි එයාට ඕනෑ වුණේ මේ උපකරණවල ක්‍රියාකාරිත්වය දැක ගන්න. කොරෝනා දවස්වල වගේම විදුලිය කප්පාදුව තිබුණ දවස්වල එයාගේ උපකරණයෙන් තමයි අපි මුළු ගෙදරටම විදුලිය ගත්තේ යැයි ද කීවාය.
 මංගල එදිරිසිංහ