අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම, මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනය සහ මිනුවන්ගොඩදී දෙදෙනකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු වන “මාමා” නම් අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයකු සහ ඊට සහය දුන් කාන්තාවක පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින් විසින් පෙරේදා(20දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කුලියාපිටිය, ඇඹව මහසෙන් මාවතේ පදිංචි 49 හැවිරිදි අයකු සහ මීගමුව කිඹුලාපිටියේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක වේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඩුබායිහි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “ හීනටියන මහේෂ් ” නමැත්තාගේ සමීපතමයකු බව කියයි.
සැකකරු සන්තකයේ තිබී පිස්තෝලයක්, උණ්ඩ ගැබක්, ජීව උණ්ඩයක්, හෙරොයින් ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 720 ක්, රුපියල් හැටදහසක් සහ ජංගම දුරකථන දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබිණි.
මිනුවන්ගොඩ පොලිස් වසමේ ගමන්ගෙදර ප්‍රදේශයේදී 2022 වසරේ ඔක්තෝබර් 6 වැනිදා සිදුවූ ත්‍රිපුද්ගල මනුෂ්‍ය ඝාතනය සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසී මෙම සැකකරුද වෙඩික්කරුවන් සමග මරණකරුවන්ගේ නිවෙසට ගොස් ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත. රුපියල් ලක්ෂ දෙකහමාරක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතන සිදුකර ඇතැයි අනාවරණය වී තිබිණි. මෙම සිදුවීමට අදාළව මින් පෙර සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර මොහු සැඟව සිට ඇත.
අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේදී ඉකුත් මැයි මස 26 වැනිදා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රධාන සැකකරුවකු වන බව කියයි. රුපියල් එක් ලක්ෂ හැත්තෑදහසක කොන්ත්‍රාත්තුවක් අනුව මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර ඩුබායිහි සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘වරුණ’ නමැත්තකු විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් බවට තොරතුරු අනාවරණය වී ඇත. යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා පසුපසින් යතුරුපැදියකින් පැමිණි සැකකරු විදුහල්පතිවරයාට වෙඩි තබා තිබිණි. සිද්ධියෙන් පසු ඔහු අම්බලන්ගොඩ සිට ගිනිඅවියද රැගෙන මොරටුව දක්වා මගී ප්‍රවාහන බසයකින් පැමිණ ඇතැයි විශේෂ කාර්ය බළකාය කියයි.
කොන්ත්‍රාත්තුව භාර දුන් පුද්ගලයා කියූ මොරටුවේ මහල් නිවාස සංකීර්ණයක පුද්ගලයකුට ගිනිඅවිය භාර දී වෙඩික්කරු පිටව ගොස් තිබිණි.
ඉකුත් ජුනි මස 17 වැනිදා මිනුවන්ගොඩ පොලිස් වසමේ බොරගොඩවත්ත පූජ්‍ය සුගතශීලි මාවත අසලදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු වන්නේද මෙම පුද්ගලයා බවට අනාවරණය වී ඇත. අළු පැහැති මෝටර් රථයකින් පැමිණ ටී56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි. මෝටර් රථය පදවාගෙන පැමිණ ඇත්තේ මෙම පුද්ගලයා වේ. මෙය ඩුබායිහි සිටින මහේෂ් නමැත්තා විසින් රුපියල් ලක්ෂ දෙකකට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් අනුව මෙය සිදුකර ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත.
විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර සහ සහකාර පොලිස් අධිකාරී එච්.ඩී. වත්තේගෙදරගේ මෙහෙයවීමෙන් ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරිහු වැටලීම සිදුකර තිබිණි.
අනීෂා මානගේ
0 Comments