musaeus-college-inosha-ragama-hospital

කොළඹ මියුසියස් විද්‍යාලයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය භාරව සේවය කළ 28 හැවිරිදි ගුරුවරියක රාගම රෝහලේදී සැත්කමකින් පසු මියයාම සැකකටයුතු බව පවසමින් ඇගේ මව්පියන් පැමිණිලි කර තිබෙන අතර ඒ සම්බන්ධ විමර්ශන දෙකක් පොලිසිය හා සෞඛ්‍ය අමාත්‍යංශ මට්ටමින් සිදුවන බව වාර්තාවේ.
කැලණිය නාතුඩුව පදිංචිව සිටි කලනි ඉනෝෂා පෙරේරා නමැති උපාධිධාරී ගුරුවරියක මෙලෙස මියගොස් ඇත්තේ පසුගිය 18 වනදාය.

 මීට වසර එකහමාරකට පෙර රාගම රෝහලට ඇතුළු කළ ඇය සැත්කමින් පසු ආබාධිත තත්ත්වයට පත්වී සිටි අතර ඇයගේ මවුපියෝ ශල්‍යකර්මය වැරැද්දූ බවට වෛද්‍යවරුන්ට චෝදනා කර තිබේ.
2021 නොවැම්බර් මස පිත්තාශයේ ඇති ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට ඇය රාගම රෝහලට ඇතුළත් කර ඇත.
රාගම රෝහලේදී සැත්කම සිදු කළ පසුව අසාධ්‍ය තත්ත්වයෙන්  දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ ඇයට මාස 3 ක් පමණ එහි සිටින්නට සිදුව ඇත.



පසුව දැඩිසත්කාර ඒකකයේ සිට සාමාන්‍ය වාට්ටුවකට මාරු කළ ඇයව අනතුරුව රාගම පුනරුත්ථාපන රෝහලට මාරු කර යවා ඇත.සැත්කමින් පසු සාමාන්‍ය තත්වයට නොපැමිණි  ඇයට ආහාර දීම පවා බට මාර්ගයෙන් සිදු කළ බව මවුපියෝ පවසති,
ඉන්පසු නිවෙසට රැගෙනවිත් ඇති නමුත් හුස්ම ගැනීමට අපහසු නිසා නැවතත් රාගම රෝහලට ඇය ගෙන ගොස් ඇති අතර
 හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් 18 වැනි ඉරිදා මියගොස් ඇත.

වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා මේ සියල්ල සිදු වූ බව පවසමින් ඇයගේ මවුපියන් සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පොලිසියට පැමිණිලි කර තිබේ.
ජීවිත හානියට වෛද්‍යවරුන් වගකිව යුතු බවත් තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙසත් මෙවැනි දේ ඉදිරියට සිදු නොවන ලෙසට වගබලා ගන්නා ලෙසත් මවුපියෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.

 පාසල් වියේ සිට දක්ෂ හොකී ක්‍රීඩිකාවක වූ මියගිය කලනි ඉනෝෂා පෙරේරා  සබරගමුව විශ්ව විද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කළ අයෙකි. ඇය රෝගයට ගොදුරු වන්නේ මියුසියස් විද්‍යාලයේ පත්වීම ලැබ මාස 5 කට පසුවයි.

මේ සම්බන්ධයෙන් රාගම රෝහල් අධ්‍යක්ෂවරයා පැවැසුවේ. මෙම තරුණියගේ සිද්ධිය පිළිබඳව ඇයගේ මවුපියන් සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පොලිසියට පැමිණිලි කර ඇති බවසත්‍යයක් බවත් පරීක්ෂණ කටයුතු අමාත්‍යාංශ මට්ටමින් සිදුවන බවත්ය.