nandalal-weerasinghe-speaks

දේශීය ණය ප්‍රශස්තකරණයේ දී මිලියන 57ක් වන රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් ආරක්ෂා කරන බවට සහතික වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.
මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (29 වැනිදා) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.



අධිපතිවරයා මෙසේද කීවේය.

රජයේ සම්පූර්ණ දේශීය ණය තිරසාර මට්ටමට ගෙන ඒමට නම් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ ආකාරයට දැනට තිබෙන නිර්ණායක වසර 10ක කාලයක් තුළ යම්කිසි ආකාරයක ස්ථාවර මට්ටමකට ගෙන ආ යුතුව තිබෙනවා. උදාහරණයක් ලෙස 2022 අවසානය වන විට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 128ක් වුණා. නමුත් එය 2032 වන විට සියයට 95කට වඩා අඩු මට්ටමකට ගෙන ආ යුතුව තිබෙනවා. එය තමයි පළමුවැනි නිර්ණායකය. දෙවැනි නිර්ණායකය වන්නේ රජයේ සම්පූර්ණ මූල්‍යකරණ අවශ්‍යතාවය වාර්ෂිකව රජය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට පවතින සියයට 34.6 ක ප්‍රමාණය 2027- 2032 වසර 05ක කාලය තුළ සාමාන්‍යයෙන් සියයට 13 හෝ ඊට පහළ මට්ටමකට ගෙන ඒමයි.



තෙවන නිර්ණායකය වන්නේ විදේශ ණය සේවාකරණයයි. එය දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.4 ක් ලෙස පවතිනවා. එය 2027- 2032 කාලය තුළ සියයට 4.5ක මට්ටමට ගෙන ආ යුතුයි.

මෙම ඉලක්ක ළඟා කර ගතහොත් බාහිර මූල්‍ය පරතරය පිරවීමට ලැබෙන සහනය අමෙරිකානු ඩොලර් බිලියන 16.9 කින් අඩු වෙනවා. මේ ඉලක්ක තුන ළඟා කර ගැනීමේදී සිදුකළ යුතු තවත් කාරණා තුනක් තිබෙනවා.

පළමුවැන්න නිල ද්වීපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීම. ඒ පිළිබඳ සාකච්ඡා මේ වන විට සිදුකරගෙන යනවා. දෙවැන්න වාණිජ වශයෙන් ස්වෛරී බැඳුම්කර මගින් ගත් මුදල්. ඒ පිළිබඳවත් සාකච්ඡා සිදුවෙනවා. තුන්වැනි කාරණය වශයෙන් දේශීය ණය යම්කිසි ආකාරයකට ප්‍රශස්තකරණය සිදුකිරීම. ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණය මෙම ක්‍රියාවලියේ එක් පියවරක් වනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී බලාපොරොත්තු වන්නේ රජයේ දළ මූල්‍ය අවශ්‍යතාව සඳහා ඉදිරි කාලය තුළ රජයට දළ වශයෙන් ගන්න තිබෙන ණය බර අඩු කිරීම. ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කළහොත් එය සියයට 12.7 දක්වා අඩු වෙනවා. එය 13න් පහළ තිබිය යුතුයි. ඒ අනුව එය හරියට ක්‍රියාත්මක කළහොත් දශම තුනක පරතරයකුත් තිබෙනවා. හරියට මෙය ක්‍රියාත්මක කළ හොත් දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය සියයට 90ටත් පහළට එනවා.

දැනට භාණ්ඩාගාර බිල්පත් ට්‍රිලියන 4.1ක් තිබෙනවා. එයින් සියයට 62.4ක්ම තිබෙන්නේ මහ බැංකුව සතුවයි. අප දන්නා පරිදි කලින්ම භාණ්ඩාගාර බිල්පත් දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කිරීමට එකඟ වී තිබුණා. එයත් ප්‍රමාණවත් නොවන නිසා ඉතිරි ප්‍රමාණය ගැනීම සඳහා අප භාණ්ඩාගාර බැඳුම්කර වෙත අවධානය යොමු කළා. දැනට තිබෙන ආකාරයට ට්‍රිලියන 8.7ක භාණ්ඩාගාර බැඳුම්කර තිබෙනවා.

මෙහිදී මහ බැංකුව ලෙස අප බලන්නේ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය රැකගැනීමට දිය හැකි හොඳම විසඳුම මොකක්ද කියලයි. සේවක අර්ථ සාධක අරමුදලේ භාරකරු විදියට ඉන්නේ මහබැංකුව. ඒ අනුව තමයි මහබැංකුව මීට සහභාගි වෙන්නේ. විශේෂයෙන් ජනතාවගේ තැන්පත් මුදල් ආරක්ෂා කර ගැනීමත් අනෙක් පැත්තෙන් ඊ පී එෆ් වගේ මහජන අරමුදල්වලට හානියක් නොවන ලෙස ආරක්ෂා කරගැනීමටත් තමයි අපි සාකච්ඡාවලට සම්බන්ධවී මේ යෝජනාවලට එකඟ වී තිබෙන්නේ.



ඒ යෝජනාව අනුව සැලකීමේදී බැංකු පද්ධතියෙන් රජයේ ණයබර අඩු කිරීමට දැනටමත් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. උදාහරණයක් ලෙස බැංකුවලින් දැනට ගෙවන බදු ප්‍රමාණය සියයට 50 ටත් වැඩියි. සමාගම් බදු සියයට 30යි, වැට් සහ මූල්‍ය සේවා සියයට 18යි, සමාජ ආරක්ෂණ දායකත්වය සියයට 2.5යි වශයෙන් එය පෙන්වා දිය හැකියි.

ඒ අනුවම බැලුවම පළවෙනි කාරණය සඳහා බැංකු පද්ධතිය දැනටමත් දායකත්වයක් ලබා දෙනවා. දෙවනි කාරණය බැංකු පද්ධතිය පසුගිය කාලය තුළ රටේ ආර්ථිකයේ සිදු වූ ණය ගෙවීමේ අපහසුතා සහ ලබාදුන් සහන කාල සීමා අනුව දැනටමත් ණය නොගෙවීම නිසා සිදු වූ පාඩු ට්‍රිලියන එකකට ආසන්න වෙලා තියෙනවා. ඊට අමතරව පසුගිය කාලයේ ට්‍රිලියන සියයට 1.6ක් වගේ වටිනාකමින් යුත් සහන කාල සීමා ලබා දී තිබෙනවා. ඒ අනුව බැංකු පද්ධතිය මේ තුළිනුත් දැනටමත් ආර්ථිකයට යම්කිසි දායකත්වයක් ලබා දී තිබෙනවා.

ඒ නිසා බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සහ තැන්පත්කරුවන්ගේ මුදල්වලට හානියක් නොවී ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමක්. ඒ නිසා තමයි අප ‍යෝජනා කළේ බැංකු පද්ධතියට තව දුරටත් බරක් පැටවීම සාධාරණ වෙන්නේ නැහැ කියලා. මොකද ඔවුන් බදුවලින් ආර්ථිකයටත් භාණ්ඩාගාරයටත් විශාල දායකත්වයක් සපයා දී තිබෙනවා.

බැංකු පද්ධතිය තුළින් තැන්පත්කරුවන්ගේ තිබෙන ගිණුම් මිලියන 57ක්. රටේ ජනතාව මිලියන 20ක් වුණාට බැංකුවල ගිණුම් මිලියන 57ක් තිබෙනවා. ඒ මුදල්වලට යම්කිසි දෙයක් වුණොත් බැංකු පද්ධතියට වෙන හානිය ඉතා විශාලයි. මහබැංකුව වශයෙන් අපේ ප්‍රධානම අරමුණ බැංකු පද්ධතිය සහ මුදල් ආරක්ෂා කිරීමයි. ඔබ දැක්කා පසුගිය කාලයේ විශාල කටකතාවක් තිබුණා බැංකු කඩා වැටෙනවා. තැන්පත් නැති වෙනවා. බොහෝ දෙනෙක් ඇහුවා තැන්පත් එළියට ගන්නද කියලා. බැංකුවල තැන්පත් ඉවත් කරන්න ගත්තොත් ආර්ථිකයම කඩා වැටෙනවා.

ඒ නිසා පළවෙනිම උත්සාහය බැංකු පද්ධතියට හානියක් නොවී ගිණුම් මිලියන 57ක තියෙන තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කර ගැනීමයි. ඒක තමයි තිබෙන ලොකුම සමාජ බලපෑම. ඒ නිසා බැංකුවලට අත තියන්නේ නෑ.

ඊළඟට විශ්‍රාමික අරමුදල් ගත්තොත් බැංකුවලට සාපේක්ෂව අඩුවෙන් බදු ගෙවන සියයට 14ක බදුවලට යටත් වූ ඊ පී එෆ්, ඊ ටී එෆ් ඇතුළු බොහෝ දේ තිබෙනවා.

මේ සියලු දෙනාගේ තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවලින් යෝජනා කර තිබෙන්නේ තිබෙන සියලු බැඳුම්කර නැවත රජයට අරගෙන අලුතින් බැඳුම්කර නිකුත් කරනවා. ඒවාට 2025 වෙනකම්ම සියයට 12ක පොලියක් ලැබෙනවා. එතනින් ඉදිරියට සියයට 9ක පොලියක් ලැබෙනවා. අනෙකුත් වැදගත් කාරණය තමයි තමන්ගේ ඊ පී එෆ් හී තිබෙන මුදල අඩු නොවීම. ඉදිරියේදී ලැබෙන්න තිබෙන ප්‍රතිලාභය ලෙස සියයට 9 ක පොලියක් රජය විසින් සහතික කරනවා. රජය පැත්තෙන් සහතික වී තිබෙනවා යම්කිසි ආකාරයකින් අඩු වීමක් සිදුවෙනවා නම් භාණ්ඩාගාරය පැත්තෙන් ඒ අඩුව පුරවන බවට.

මේ භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුවට සහභාගි නොවන අයට තෝරා ගැනීමක් තිබෙනවා. ඒ තමයි සියයට 14 වෙනුවට සාමාන්‍ය අය ගෙවන ආකාරයට සියයට 30 බද්දක් ගෙවීම. මේ අනුව සති කීපයක් ඇතුළත බැඳුම්කර හුවමාරු සිදුකර ජූලි මාසය ඇතුළත මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා.