natasha-edirisuriya-suddhodana-apology

අන්තර්ජාලය හරහා ආගමික සහජීවනයට බාධා කිරීම සහ වෛරය වැපිරවීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින නතාෂා එදිරිසූරිය සහ ඊට ආධාර අනුබලදීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රශ්නගත යූටියුබ් නාලිකාවේ හිමිකරු බෘෘනෝ දිවාකර සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ යළි සලකා බැලුණි.

කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21) ප්‍රකාශ කළේ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාව සිය ප්‍රකාශය මගින් බෞද්ධ චරිතය සහ බෞද්ධ සාහිත්‍ය අතිශයින් හෑල්ලුවට ලක්කර ඇති බවය.

නතාෂා ජූලි 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අන් අයට අපහාස කිරීමට දෙන බලපත්‍රයක් නොවන බවය.

එහිදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, මීට පෙර නඩු දිනයේ සැකකරුවන්ගේ නීතිඥයින් කළ ඇප ඉල්ලීමට අදාළ නියෝගය ප්‍රකාශයට පත්කළේය.

“ඇයගේ නීතිඥයින් කියාසිටියා ප්‍රශ්නගත ප්‍රකාශය සිදුකළ තැනැත්තිය තුළ බෞද්ධ දර්ශනයට අපහාස කිරීමේ චේතනාවක් තිබුනේ නැහැ.. එය හුදෙක් හාස්‍යය දැනවීම අරමුණු කරගත් ප්‍රකාශයක් කියලා. එමෙන්ම මෙම ප්‍රකාශයෙන් කියවෙන්නේ සිදුහත් චරිතය එසේත් නැතිනම් බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබීමට පෙර අවධිය බවත් සැකකාරිය වෙනුවෙන් සිදුකළ කරුණු දැක්වීම්වලදී කියවුණා. මම කියන්න කැමතියි, එම ප්‍රකාශයෙන් බුදුන් වහන්සේගේ ළමා කාලය ඉලක්කවූ බවට කීවත් එහි ගැබ්ව ඇති අපරාධ වරද සුළු කොට සැලකිය නොහැකියි. බුද්ධ චරිතාපදානය බුදුන් වහන්සේ බුදුවීමට සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් (සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්) පෙරුම් පිරීමේ සිට ධාතු පරිනිර්වානය දක්වා දිව යනවා. එබැවින් සිදුහත් චරිතය හුදු තවත් එක් ළමා කාලයක් ලෙස සැලකිය නොහැකියි. මෙම ප්‍රකාශය තුළින් පැහැදිලිව බුදුන් වහන්සේගේ ළමා කාලය හාස්‍යයට ලක්කර තිබෙනවා.”

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා සැකකාරිය සිදුකර ඇති වරදේ ස්වභාවය උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ඔස්සේ ද පැහැදිලි කළේය.



“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි පරිච්ඡේදයේ 09 වැනි ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා තිබෙනවා. එවැනි වටපිටාවක තමයි බුද්ධ චරිතයට නිගරු කර තිබෙන්නේ. බොහෝ දෙනෙක් භාෂණයේ අයිතිය පිළිබඳ කතා කරනවා. මම කියන්න කැමතියි.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යස්ථාව තුළ භාෂණයේ නිදහස තහවුරු කළ ද, 15 (2) ව්‍යවස්ථාව තුළින් ඊට සීමා පනවා තිබෙනවා. මලල්ගොඩ එරෙහි නීතිපති නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා, ‘භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අන් අයට අපහාස කිරීමට දෙන බලපත්‍රයක් නෙවෙයි’ කියලා.”

සැකකාරිය විසින් සිදුකර ඇති වරද 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතට නොවැටෙන බවට නීතිඥයින් කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන්ද මහෙස්ත්‍රාත්වරයා අධිකරණයේ මතය පැහැදිලි කළේය.

“ප්‍රශ්නගත ප්‍රකාශය තුළ බෞද්ධ චරිතය සහ බෞද්ධ සාහිත්‍ය අතිශයින් හෑල්ලුවට ලක්වී ඇති බව අධිකරණයේ මතයයි. අදාළ ප්‍රකාශය තුළින් බෞද්ධ ජනකොටස් අතෘප්තියට පත්වීම හා ඔවුන් තුළ නොසන්සුන්තාවයක් ඇතිවීම නිරායාසයෙන්ම.. අනික් ආගම් කෙරෙහි එදිරිවාදිකම්වලට පොළඹවනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි සුළු ප්‍රකාශ මත පදනම්ව ආගම් අතර ගැටුම් ඇතිවූ අවස්ථා දැකගන්නට පුළුවන්. එමෙන්ම මෙම වරද නතාෂා එදිරිසූරිය චේතනාන්විතව සිදුකර ඇති බව පෙනී යනවා. ප්‍රශ්නගත වැඩසටහනේ අනෙකුත් සියලු ඉදිරිපත් කිරීම්වල පිටපත් සඳහා ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයෙන් අවසර ගෙන තිබුණත්, මෙම සැකකාරිය පමණක් නීති කෘත්‍යයට අදාළ ප්‍රශ්නගත කොටස ඇතුළත් පිටපතට අවසර ගෙන නැහැ.

එමෙන්ම ඇය සිය ප්‍රකාශ තුළ පිළිගෙන තිබෙනවා.. පිටපත ලිව්වේ තමා බවත් ඇය විසින්ම පෙර පුහුණුවීම් සිදුකළ බවත්. එබැවින් තම පිටපත ඇය විසින් ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් නොකිරීම තුළ හිතාමතාම, දැන දැන මෙම වරද සිදුකර ඇති බව ගම්‍ය වෙනවා.”

අනතුරුව සැකකාරිය පිළිබඳ ඇප නියෝගය මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශයට පත්කළේය.

“කරුණු සියල්ල සලකාබැලීමේදී සැකකාරිය ICCPR පනතේ 3 (1) යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බව අධිකරණයේ මතයයි. එම පනත යටතේ සැකකරුවෙකු ලෙස නම් කරනු ලබන හෝ චෝදනා ලැබු තැනැත්තෙකුගේ ඇප සලකාබැලීය හැක්කේ මහාධිකරණයට පමණයි. ඇය විමර්ශන ඇරඹු අවස්ථාවේම අධිකරණය මඟහැර විදෙස්ගතවීමට උත්සාහ කිරීම තුළ ඇප පනතේ 14 (1) වගන්තිය උල්ලංඝනය වී තිබෙනවා. ඒ අනුව සැකකාරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන මෙම අධිකරණය ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනවා.”