nugegoda-incident

ලිංගික කටයුතු සඳහා කුඩා දැරියන් මුදලට ලබා දිය හැකි බව කියමින් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කළ බව කියන ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක පරිගණක ශිල්පියෙක් නුගේගොඩ ප්‍රදේශයේ දී පොලිස් ළමා හා අපයෝජන නිවාරණ කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි තිස්තූන් හැවිරිදි අවිවාහක අයෙකි.



අත්අඩංගුවට ගත් සැකකරු පදිංචිව සිටින නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවසේ තිබී ඔහු පරිහරණය කළ ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් ද පොලිස් බාරයට ගෙන ඇත. අවුරුදු පහත් දහයත් අතර වයස්වල පසුවන කුඩා දැරියන් සිය ගණනකගේ ඡායාරූප, පොලිස් භාරයට ගත් ලැප්ටොප් පරිගණකයේ ඇතුළත්ව තිබෙන බව පොලිසිය පවසයි. මෙම කුඩා දැරියන් ගේ ඡායාරූප යොදා ගනිමින් සැකකරු මුහුණු පොතේ මෙම පෝස්ටුව පළ කර ඇති බවද පොලිසිය කියයි.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු විවිධ අවස්ථාවලදී මෙම කුඩා දැරියන්ගේ ඡායාරූප ගෙන ඒවා සිය ලැප්ටොප් පරිගණකයට ඇතුළත් කරගෙන ඇති බව මූලික පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.  එම ඡායාරූප අතර විවිධ උත්සව අවස්ථාවලදී සිඟිති කුමරියන් ලෙස ඉදිරිපත් වූ දැරියන්ගේ ඡායාරූප ද ඇති බව පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත. මෙම සැකකරු බාල වයස්කාර දරුවකුව සිටියදී නිවසේ සිටි රියැදුරා අතින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වී ඇතැයි  කියති. අත්අඩංගුවට ගත් සැකකරු මේ බව හෙළි කළේ යැයි පොලිසිය සඳහන් කරයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය