nuwara-eliya-race-course

2023 වසරේ වසන්ත සැණකෙළියෙන් පසුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් නුවර එළිය තුරග තරග පිටිය සුගතදාස අධිකාරියට නඩත්තු කළ නොහැකි බව පවසා නුවරඑලිය ප්‍රාදේශීය ලේකම් යටතට පවරා ගෙන  සුගතදාස අධිකාරියට ණය ගැති වී සිටින තුරඟ සමාජයේ හිමිකරුට විකුණා දැමීමේ කුමන්ත‍්‍රණයක් ඇති බවට පොදු සේවක සංගමයට තොරතුරු ලැබී ඇතැයි එම සංගමය පවසයි.





එසේම රටේම ඉඩකඩම් හා සම්පත් පෞද්ගලිකව විකිණීමට හා ක්‍රීඩාව ගිල දැමීමට උත්සහ දරන පාලකයන්ට‍ෙ විරෝධය පලකරන අතර මේ සම්බන්ධව ඉදිරියේදී  සිය සංගමය විසින් විරෝධතා ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි,

"නුවරඑලියේ තුරඟ තරඟ ක්‍රිඩා අමාත්‍යංශයට අයත් අක්කර 32 ක භූමි ප්‍රමාණයකි. මෙය නඩත්තු කිරීම සඳහා ක්‍රිඩා අමාත්‍යංශයේ ලේකම්ගේ අත්සනින් 2011.09.07 වන දින ඔහුගේ අංක MS/1/1310/12 දරණ ලිපි ගොනු අංකය යටතේ ලේඛනයක් මගින් 1997 අංක 17 දරණ පනත මගින් ස්ථාපිත කර ඇති සුගතදාස ජාතික ක්‍රිඩා සංකීර්ණ අධිකාරියට දෙවන පාර්ශවය ලෙස 2012 අගෝස්තු 15 වන දින අවබෝධතා ගිවිසුමක් මගින් තුරඟ තරඟ පිටියේ නඩත්තු කටයුතු ලෙස භාර දී ඇත.

ඒ සඳහා අධිකාරිය විසින් ස්ථානභාර නිලධාරියෙකු සහ තවත් සේවකන් 11 දෙනෙකු පමණ පිරිසක් සුගතදාස අධිකාරියෙන් යොදවා නඩත්තු සිදු කරමින් එහි පැවැත්වෙන අශ්වගාල් සැනකෙලි ආදිය සිදු කරමින් වාර්ෂිකව අධිකාරියට ආදායම් උපයාගෙන ඇත.



එයට අමතරව තුරඟ තරඟ සමාජයට ක්‍රීඩා කටයුතු සඳහා වසර 02 ක කාලයකට වලංගුව 2015 වසරේ මාසයකට ලක්‍ෂ 02 බැගින් ගිවිසුමක් මගින් තරඟ පරිහරණය කිරීමට ලබා දී ඇත. තරඟ තුරඟ සමාජයේ ඉතිරි කිරීමේ ගාස්තුවක් ලෙසද අධිකාරියේ ලක්‍ෂ 20 ක තැන්පතුවක් ද තබා ඇත.

එම වසර 02 ගෙවීමට නියමිත මුදල ගෙවා ඇත්තේ 2017 වසරේ ගෙවිය යුතු මුදල නොගෙවා තැන්පත් කර ඇති ලක්‍ෂ 20 මුදලින් අඩුකර ගැනීමට සලස්වා 2018 වසරේ සිට තුරඟ තරඟ සමාජයට කාලය ප්‍රමානවත් නොවන බව පවසා වසර 10 ක කාලයක් ඉල්ලා ඇත. එයට අධිකාරිය අකමැති හෙයින් කැබිනට් අනුමැතියකින් වසර 05 ක කාලයකට දීර්ඝ කරගෙන ඇතත් 2018 වසරේ සිට 2023 වරස දක්වා කිසිදු ගෙවීමකින් තොරව ඔහු පරිහරණය කර ඇත.

එම මුදල් සුගතදාස අදිකාරියට අය කර ගැනීමට එවකට සිටි පාලකයින් කටයුතු කර නොමැති බැවින් දැවැන්ත පාඩුවක් අධිකාරියට සිදු කර ඇත."