pd-abeyratne-released-on-bail

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක පී. ඩී. අබේරත්න හොරණ ධීරානන්ද මාවත ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ එම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එහි තිබෙන නිවස ඉදිරිපිට රැඳී සිටි ආගන්තුක පිරිසක් සමග ගැටුමක් ඇති කරගත් සිද්ධියක් ඊයේ වාර්තා විය.
ඇති වූ බහින්බස් වීමකින් පසු එම පිරිසෙන් අයකු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ දැරීමේදී මන්ත්‍රීවරයා අහසට වෙඩි තැබීමක් සිදු කර තිබුණි. මන්ත්‍රීවරයා ඔහු සතුව තිබූ ගිනි අවියෙන් මෙලෙස අහසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළ අතර සාපරාධී බියගැන්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.


හොරණ මූලස්ථාන පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකාර හිටපු මන්ත්‍රීවරයා සතුව තිබී මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවිය සහ සහ ජීව උණ්ඩ තුනක් ද පොලිස් භාරයට ගෙන තිබුණි.
අබේරත්න මහතා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර තිබෙයි.

ඊට අමතරව ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් පැනවූ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙස නියෝග කර තිබේ.



එසේම ඔහුගේ ගිනි අවිය අධිකරණය භාරයට ගෙන ආරක්ෂක අමාත්‍යාංශය හරහා එහි බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙයි.