pet-scanner-issue

රජයේ රෝහල් තුළ පිහිටි PET ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රියව වීමෙන් පරික්ෂණ කටයුතු තවතා දමා තිබෙන බවත්, මේ තිසා රෝගී ජනතාව දුෂ්කරතාවන්ට පත්ව තිබෙන බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම පරීක්ෂණය සිදු කිරීමේදී රෝගියාට ලබාදෙන FDG විකිරණශීලී එන්නත නොමැති වීම නිසා කොළඹ අපේක්ෂා රෝහල් ස්ථාපනය කර තිබෙන PET ස්කෑන් යන්ත්‍රයෙන් සිදුකරන පරීක්ෂණ තවතා තිබෙන බවද එම සංගමයේ සභාපති ධර්මවික්‍රම මහතා සදහන් කළේය.


පිළිකා රෝග තත්ත්වයේ වර්ධනය, පිහිටීම හා ක්‍රියාකාරිත්වය සූක්ෂ්මව හඳුනා ගැනීමට යොදා ගන්නා නවීන පරීක්ෂණ ක්‍රමය මෙම යන්ත්‍රයෙන් සිදුවන බවත්. මීට අමතරව රෝගියකුගේ පිළිකාවට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එහි නැවත වර්ධනය වීමක් සිදුවන්නේද නැද්ද යන්න නිවැරදිව හඳුනා ගැනීමට මෙම පරික්ෂණයෙන් හැකියාව ලැබෙන බවත් හෙතම පැවසීය. එන්නත් සැපයීම අඩාළ වීමට හේතු වී ඇත්යත් එම එන්නත සැපයීම සඳහා නිසි කාලයේදී ටෙන්ඩර් කැඳවා අවශ්‍ය කටයුතු නොකිරීම බවත්, අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වා ගැනීමට නම් ටෙන්ඩර් කැඳවීම නිසි කාලයේදී සිදු කළ යුතු බවත් සභාපතිවරයා පැවසීය.


මේ වන විට රජයේ රෝහල් පද්ධතිය තුළ තිබෙන පෙට් ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එක් යන්ත්‍රයක් ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි ස්ථාපනය කර තිබේ. මෙම එක් යන්ත්‍රයක් මගින් දිනකට සිදු කළ හැක්කේ රෝගීන් 10දෙනකුගේ පරීක්ෂණ පමණී. පෞද්ගලික රෝහලකින් මෙම පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 3කට වැඩි මුදලක් රෝගියකුට වැයකිරීමට සිදුවන බවද හෙතෙම පැවසීය.

එච්. අයි. තුෂාර