pettah-incident

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් 23 හැවිරිදි තරුණයකු ත්‍රිරෝද රථයකින් පැහැරගෙන යමින් සිටි බව කියන යුද හමුදා සෙබළකු සහ තවත් පුද්ගලයකු පෙරේදා (28) අත්අඩංගුවට ගන්නා ලදැයි පිටකොටුව පොලීසිය පවසයි.  ඔවුන් විසින් පැහැරගෙන යන ලද එම තරුණයා ද මුදාගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. පැහැරගෙන යමින් සිටියදී මෙසේ මුදාගෙන ඇත්තේ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මෙම තරුණයා පිටකොටුව බැස්ටියන් මාවත ඔස්සේ පෙරේදා සවස පාගමනින් යමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනකු තමන් පොලිස් නිලධාරීන් බව පවසා එම  තරුණයා නතර කරගෙන ඇතැයි පොලිසිය කියයි.

ඔහු ළඟ මත්ද්‍රව්‍ය ඇත්දැයි පරීක්ෂා කර බැලීමට පොලිසියට රැගෙන යෑමට අවශ්‍ය බව පවසා ඔවුන් තරුණයා ත්‍රිරෝද රථයට බලහත්කාරයෙන් දමාගෙන පැහැර ගෙන යමින් සිට ඇතැයිද එම නිලධාරියා කීය. ඒ අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් එය දැක වහා ක්‍රියාත්මක වී ත්‍රිරෝද රථය නවත්වා එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පැහැර ගෙන යමින් සිටි බව කියන තරුණයා ද මුදාගත් බව  පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළා පනාගොඩ කඳවුරේ රාජකාරි කරන 38 හැවිරිදි අයෙකි.



සැකකරුවන් මෙම තරුණයා පැහැරගෙන ගියේ කුමන අරමුණකින් දැයි යන්න ගැන කරුණු හෙළිකර ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. සෙබළා සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා කොළඹ 10, සංඝරාජ මාවතේ පදිංචි 28 හැවිරිදි අයෙකි. පිටකොටුව පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය