pharma-676

මෙරට තුළ වර්තමානයේ ඖෂධ වර්ග 676න් ඖෂධ 253ක් හිඟයක් පවතින බවත්, රෝහල්වල ඖෂධ හිඟය එම ප්‍රමාණයට වඩා වැඩි බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය. එමෙන්ම ඉන්දියානු ණය ආධාර යටතේ ලබාදුන් මුදල්වලින් තවත් ඩොලර් මිලියන 228ක් ඉතිරිව තිබුණද, භාවිත කිරීමේ ක්‍රමවේදය දීර්ඝ වීම නිසා එම මුදල් භාවිත කර ඖෂධ ගෙන්වන කණ්ඩායම ඖෂධ ගෙන්වීමට අකමැත්තක් දක්වන බවද එහිදී අණාවරණය විය.

කෝපා කාරක සභාව හමුවට සෞඛ්‍ය අමාත්‍යාංශය කැඳවූ අවස්ථාවේදී මේ පිළිබඳ අනාවරණය විය.



එමෙන්ම ප්‍රමිතියෙන් අඩු ඖඖෂධ මෙරටට ගෙන්වන්නේ නැති බවත්, එලෙස ගෙන ඒමට කටයුතු කරන්නේ නම්, එම ඖෂධ භාවිතයෙන් වළකින අතර, එහි පාඩුව සැපයුම්කරු දැරිය යුතු බවත් කෝපා කාරක සභාවේදී අනාවරණය විය.

කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ - දැන් තියෙන ප්‍රශ්නයක් තමයි එක බෙහෙතක් ගත්තොත් ඒකෙ ට්‍රේඩ් නේම් එකත් සමග විශාල ලෙස ආදේශක තියෙනවා. ඇමොක්සොලින් වර්ග කීයක් ලංකාවේ තියෙනවාද? අසූ ගාණක්  තියෙනවා. අපි වගේ පොඩි රටකට එච්චර ප්‍රමාණයක් ලියාපදිංචි වීම අවශ්‍යද?

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන - අපි ඇමොක්සලින් පේනරික් නේම් එකෙන් විතරයි. අපි බ්‍රෑන්ඩඩ් කිසිම දෙයක් ගන්නේ නෑ. අනිත් බ්‍රැන්ඩ්ස් සියල්ල තියෙන්නේ පිට. කවුරු හරි කෙනෙක් ලිව්වොත් මහජනතාවට විකල්පයක් තියෙනවා ඕනම එකක් මිලදී ගන්න.
කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ - ඇයි ලියාපදිංචි කරන්න එච්චර ගාණක් ?
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන - ඒක දැන් වසර ගණනාවක් සිදු කරනවා.

කෝප් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ - ඇත්තටම රටේ බෙහෙත් හිඟයක් තියෙනවාද කියලා දැනගන්න කැමතියි. ඊළඟට ප්‍රමිතියෙන් අඩු බාල බෙහෙත් ගෙනත් මේ රටේ ජීවිත නැති වෙනවාද කියලා දැනගන්න කැමතියි.



නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය හේරත් - සංඛ්‍යාත්මකව කිව්වොත් අවසන් සමාලෝචන රැස්වීමේදී අපි තීරණය කළා 850ක් ගන්න කියලා. එතන තියෙනවා ඖෂධ වර්ග 676ක්. මේකෙත් 253ක් තමයි අදට තියෙන්නේ හිඟය. නමුත් රෝහල්වලට ගියාම මේ ප්‍රමාණය යම් මට්ටමකින්  වැඩි වෙලා තියෙනවා. අපි සෑම අවස්ථාවකම උත්සාහ  කරනවා හරි ප්‍රමිතියෙන් යුත් බෙහෙත් ගෙන්වන්න.

කෝප් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ - මම අඟන්නේ ප්‍රමිතියෙන් අඩු බෙහෙත් ගේනවාද? නැද්ද?

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය හේරත් - ප්‍රමිතියෙන් අඩුයි කියලා දැනගත්තොත් ගේන්නේ නෑ. අපි ගෙනත් පරීක්‍ෂා කිරීමවලදී අපට දැනගන්න ලැබුණොත් මේක ප්‍රමිතියෙන් අඩුයි කියලා එතනින් එහාට අපි ඒක පාවිච්චි කරන්නේ නෑ.

කෝප් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ - ඒ පාඩුව දරන්නේ කවුද?

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය හේරත් - සැපයුම්කරුවා දරන්න ඕන.



කමිටු සාමාජික රාජ්‍ය අමාත්‍ය චාමර සම්බත් - ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ බෙහෙත් ගේන එක ඉවරයිද?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සැපයුම්) ආර්.එම්.එස්.කේ. රත්නායක - ඒ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් බෙහෙත් 300 ගාණක් ගෙනත් තිබෙනවා. තව ඩොලර් මිලිය 28ක් තියෙනවා. ඊට අතිරේක වශයෙන් භාණ්ඩාගාරයෙන් දීලා තියෙනවා තව මිලියන 200ක්. දැන් කට්ටිය කැමති නෑ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක පාවිච්චි කරන්න. මොකද ඒ ක්‍රියාවලිය දීර්ඝ නිසා.

දිනේෂ් සමරකෝන්