pig-farm-issue

ඌරු ගොවිපොළක සේවකයකු එහි තිබූ උපකරණ කිහිපයක් සොරාගෙන යමින් සිටියදී අල්ලාගෙන පැය 9ක් පමණ තිස්සේ ඔළුව බිමට සිටින සේ දෙකකුලින් එල්ලා පහර දී ඝාතනය කර ඇතැයි නිට්ටඹුව පොලිසිය සඳහන් කරයි. මෙසේ ඝාතනය කර ඇත්තේ නිට්ටඹුව පොලිස් වසමේ දෙබහැර ඌරලින්කන්ද වලව්වත්ත වීරසූරියකන්ද ලිපිනයේ ඌරු ගොවිපොළක සේවය කළ කාලිමුත්තු මහේන්ද්‍ර (42) නමැත්තකු බව ද පොලිසිය කියයි.

ඝාතනය සම්බන්ධයෙන් එම ඌරු ගොවිපොළේම සේවය කරන පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ද නිට්ටඹුව පොලිසිය සඳහන් කරයි. මෙම පුද්ගලයා පදිංචි ලිපිනයක් අනාවරණය  නොවන අතර, ඔහු දින දෙකකට පමණ පෙර ඌරු කොටුවේ සේවයට පැමිණි අයකු බව ද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය කරගෙන ඇත.  මරණකරු ඌරු කොටුවේ වාඩියක තිබූ ලී කපන කුඩා මැෂිමක්, ග්‍රයින්ඩරයක්, කුඩා වෑල්ඩින් ප්ලාන්ට් එකක් සහ ස්පැනර් එකක් ඇතුළු භාණ්ඩ සොරාගෙන ගෝනියක දමාගෙන රැගෙන යමින් සිටියදී පෙරේදා (26) අලුයම තුනට පමණ එහි සේවකයන් දෙදෙනකුට හසු වී ඇතැයි පොලිසිය කියයි.

සැකකරුවන් එම පුද්ගලයා කොන්ක්‍රීට් කණුවක එල්ලා පැය 9ක් තිස්සේ පහර දී ඇතැයි ද ඔහු මියගිය බව දැනගත් පසුව රැහැන් ගලවා දමා තිබී ඇතැයි ද පොලිසිය පවසයි. ඌරු කොටුවේ පුද්ගලයකු මරා දමා ඇති බවට පෙරේදා (26) පස්වරු 3.30 ට පමණ පැමිණිල්ලක් ලැබීමෙන් පසුව පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.  සැකකරුවන් දෙදෙනා මෙම ඌරු ගොවිපොළේ කලක් තිස්සේ සේවය කර ඇති පුද්ගලයන් බව අනාවරණය වී තිබේ. තිදෙනාම කල් ගත කර ඇත්තේ සිද්ධිය වූ වාඩියේම බව පොලිසිය සඳහන් කරයි.  සැකකරුවන් දෙදෙනා ස්ප්‍රිවැනි හා මැල්සිරිපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත. මහේස්ත්‍රාත් පරීක්‍ෂණය හා පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (27) පැවැත්වීමට නියමිතව තිබිණි. නිට්ටඹුව මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

පුෂ්පකුමාර මල්ලවආරච්චි