piliyandala-rda

පිළියන්දල - කැස්බෑව නව විකල්ප මාර්ගයේ දෙපස කලක පටන් අනවසර වෙළඳාමේ නිරත පිරිස ඉවත්කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ඊයේ (19 වැනිදා) කටයුතු කරමින් සිටියදී වෙළෙඳුන් ඊට විරෝධතාව දැක්වීම නිසා නොසන්සුන් තත්වයක් උද්ගත විය.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සඳහන් කර සිටියේ මාර්ගය දෙපස රක්ෂිත කලාපයක් ද ඇති බැවින් මේ වනවිටත් එම ස්ථානවලද අනවසර වෙළඳසැල් ඉදිකර ඇති බවය. වෙළෙඳසැල් ඉවත් කරගන්නා ලෙස වෙළෙඳුන්ට දැනුම් දුන්නද ඔවුන් එම ස්ථානවලින් ඉවත් නොවූ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.



වෙළෙඳුන් ඉවත් නොවීම නිසා ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළ බවද, ඉදිරියේදී මාර්ගයේ ආරක්ෂක වැටක්ද ඉදිකිරීමට නියමිත බවද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

වෙළෙඳුන් සඳහන් කරන්නේ තමන්ව මේ ආකාරයෙන් සිය වෙළෙඳසල් ඉවත් කරන බව නිසි ලෙස දැනුවත් නොකළ බවය. එසේම කැස්බෑව නගර සභාව විසින් දිනකට රුපියල් 50 ක මුදලක් ද වෙළඳාම වෙනුවෙන් තමන්ගෙන් අයකරන බවය.

මාර්ගය දෙපස වෙළඳාමේ නියුතු පවුල් 250- 300 ත් අතර ප්‍රමාණයකට සිය ජීවනෝපාය අහිමි වන බවද ඔවුන් පෙන්වා දෙති.

කෙසේ වෙතත් පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ පිරිස සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව තාවකාලික ලෙස වෙළඳසැල් ඉවත් කිරීම නැවැත්වීමට කටයුතු කළේය.

දිනේෂ් රූපසිංහ - පිළියන්දල