pmb-cyril-death

හිටපු අමාත්‍යවරයෙකුවූ වෛද්‍ය පී.එම්.බී සිරිල් මහතා සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.
ඔහු ඉහළට ගිය සෝපානයේ ගමන් ගත් ඔහුගේ රියදුරා ද බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය පැවැසීය.


මිය යන විට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 83 හැවිරිදි වියේ පසුවිය.
සිරිල් මහතා ඔහුගේ රියදුරා සමග නිවසේ පිටතින් සවිකර ඇති විදුලි සෝපානයෙන් තුන්වැනි මහලේ අලුත්වැඩියා කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය හදිසියේ කඩා වැටීමෙන් දෙදෙනාම තුවාල ලබා තිබෙන බව පොලීසිය පවසයි.
ලුණුගම්වෙහෙර වාරි ව්‍යාපෘතියේ නිර්මාර්තෘ වරයා  වූ සිරිල් මහතා 1940 දී පමණ දෙවුන්දර ප්‍රදේශයේ පටබැඳි මද්දුම බදුගේ සිරිල් නමින් උපත ලැබීය.  ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකුව සිටියදී දේශපාලනය පිවිසියේය.
දේශපාලනයට පැමිණීමට පෙර ඔහු අම්බලන්තොට වඳුරුප්ප රෝහලේ  හා ගොඩකවල රෝහලේද සේවය කර ඇති අතර පෞද්ගලික සායනයක්ද පවත්වාගොස් ඇත.
එම 1977 මහ මැතිවරණයේදී දොස්තර සිරිල් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම අසුනට එජාපයෙන් තරග කලේය.
එක්සත් ජාතික පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ අතර 1977 සිට 1994 දක්වා දොස්තර සිරිල් හම්බන්තොට නියෝජනය කළේය.


මුළු ප්‍රදේශයේම කෘෂිකාර්මික ඉඩම්වලට ජලය සපයන ලුණුගම්වෙහෙර වාරි ව්‍යාපෘතිය ඔහුගේ සංකල්පයක් විය.
ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිටියදී සූරියවැව විද්‍යාලය, රන්මුදුවැව විද්‍යාලය, බඳගිරිය මහා විද්‍යාලය ආදී නව පාසල් 36ක් ප්‍රදේශයේ ස්ථාපිත කළේය.
 ඔහු 2020 මහ මැතිවරණයටද පිරිහී ගිය එජාපයෙන් තරග කිරීමට සූදානම් වූවත් එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තේ හම්බන්තොට ඡන්දවලින් 1%ක් පමණයි.
ඔහු සහ ඔහුගේ බිරිඳ මෑතකදී තම දේපළ විකුණා කොළඹට යන තුරුම ඔවුන් පදිංචිව සිටියේ අම්බලන්තොට වදුරුප්පා පාරේ ලංකා බැංකුව ඉදිරිපිටය.  ඔවුන්ට පුතුන් දෙදෙනෙක් සහ දියණියන් තිදෙනෙක් සිටිති.  පස්දෙනාම විවාහවී විදේශගතව සිටී.
සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහල අලුත්වැඩියාව අවස්ථාවේ මෙම අනපේක්ෂිත අනතුර සිදුවී තිබේ.