police-igp

නව පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ලබන 26 වැනිදායින් අවසන්වීමට නියමිතය. පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියත් රජය ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දුන්නේය.



මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් යෝජනාවී ඇති අතර පොලිස්පති ධූරයට පත් කෙරෙන නිලධාරියා කවුදැයි රජය තවමත් ස්ථිර තීරණයක් ගෙන නොමැත. මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පොලිස්පති ධූරයට පත් කරන නිලධාරියා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණි පසු සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා කරන නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කරනු ලැබිය යුතු වෙයි. පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයාය. ඔහු එම ධුරයට පත් කෙරුණේ 2020 නොවැම්බර් මස 27 වැනිදාය.
සුජිත් හේවාජුලිගේ