polonnaruwa-kidny-hospital

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකමින් දැඩි අසරණ තත්වයකට පත්ව ඇතැයි වකුගඩු රෝගීහු පවසති. මෙම රෝහලෙත් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට දෛනික සායනිකවලට රෝගීහු විශාල පිරිසක් පැමිණෙති. නේවාසික රෝගීන්ට මෙන්ම බාහිර ප්‍රතිකාර ගැනීමට එන රෝගීන්ට ද ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකමින් ඔවුහු දැඩි පීඩාවකට පත්  වෙති.

මෙම රෝහලේ වකුගඩු රෝගීන් 100කගේ පමණ එකවර රුධිර කාන්දුකරණයට යොමු කළ හැකි පරිදි පහසුකම් සලසා ඇතත් එම කටයුතු අදියර 2 ක් යටතේ සිදු වන බවද රෝගීහු පවසති. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රුධිර කාන්දුකරණයට රෝගීන් 150 ක් පමණ දිනකට යොමුවන අතර ඉන් වැඩි පිරිසක් යොමු වන්නේ පොලොන්නරුව වකුගඩු  රෝහලටයි.

ඉතා සුළු පිරිසක් මැදිරිගිරිය මූලික රෝහලට සහ හිඟුරක් ගොඩ රෝහල වෙත යොමු වෙති. වකුගඩු රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බාහිර රෝගීන්ට මෙන්ම නේවාසික රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකම හේතුවෙන් ඔවුන්ට සිදු වී ඇත්තේ වැඩි මිලට ෆාමසිවලින් බෙහෙත් මිලදී ගැනීමටය.

මෙම රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීයකු පැවසුවේ මසකට වකුගඩු දීමනාව ලෙස රුපියල් 5000ක මුදලක් ලැබුණ ද එය ඖඖෂධ ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි. වකුගඩු දීමනාව ද මාස දෙකකින් නොලැබුණ බවත් සායනයට පිටින් ඖෂධ මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදල් නොමැතිකම නිසා අසරණ වී සිටින බවත්  කීය. රෝගීන්ට පිටතින් මිලදී ගැනීමට දෙන ඖෂධ වල මිල සම්බන්ධව පොලොන්නරුව දිස්ත්‍රික් ඖෂධහල් හිමියන්ගේ සංගමයේ සභාපති සුජීව ගුණතිලක මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු මෙසේ පැවැසීය. වෛද්‍යව නිර්දේශ අනුව රෝගීන් විශාල පිරිසක් ඖෂධ මිලදී ගැනීමට පැමිණෙනවා. එහෙම එන අය අතේ තියෙන මුදලට දින කීපයකට ඖෂධ අරන් යනවා. නැවත බෙහෙත් ගන්න එන්නේ නෑ. එහෙම එන අවස්ථාව ඉතාම අඩුයි.



රජය ඖෂධ වර්ගවල මිල ගණන් සියයට 16 කින් අඩු කළා. නමුත් එම මිල සියයට 50 කින් අඩු කිරීමට රජයට හැකියාවක් තියෙනවා. රටට ඖෂධ වර්ග ආනයනය කරන මහා පරිමාණ සැපයුම්කරුවන් අධික ලාභයක් මෙයින් ලබනවා. ඒ මාෆියාව නතර කරනවා නම් එක රෝගීන්ට දැඩි අස්වැසිල්ලක්.
 චාපා මධුභාෂිණී