රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අයත් කැලණියේ පමුණුවිල පිහිටි නිවසට 18 රාත්‍රීයේ පැමිණි පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අයත් කැලණිය සරත්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි නිවසට මෙලෙස ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ ඊයේ රාත්‍රී 10.50ට පමණය.
ආයුධ සන්නද්ධව පැමිණි පිරිස රාජ්‍ය අමාත්‍යවරයාටත් ඔහුගේ පුත්‍රයා ‘වෙනුක‘ටත් බැන වදිමින් නිවසට අලාභ හානි කළ බව එම අවස්ථාවේ නිවසේ සිටි ආරක්ෂක නිලධාරියා පොලිසියට පවසා ඇත.


ඉන් එම නිවසේ දේපලවලට හානි සිදුව ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
එහි පැමිණි නාඳුනන පිරිසක් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ දොර ජනෙල්වලට පහරදී හානි කර තිබුණි.
පහරදීම සිදුවන අවස්ථාවේ නිවසේ රැඳී සිට ඇත්තේ සේවකයෙක් පමණි.
රාත්‍රී සිදුවූ මෙම ප්‍රහාරයෙන් බිම් මහලේ ජනේලවලට විශාල අලාභහානි සිදුවී ඇති බව ආරක්ෂක නිලධාරියා පැවසීය.ජනේල අටක වීදුරු කුඩු වී ගොස් තිබිණි.
බිම් මහලේ වීදුරු කැඩීමේ ශබ්දය සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් වෙනුක රණවීරට තර්ජනය කරන පුද්ගලයන් කිහිප දෙනෙකුගේ හඬ ඇසෙන විට තමන් උඩුමහලේ සිටි බව ඔහු පැවසීය. සිද්ධිය වන අවස්ථාවේ අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් එහි සිට නැත.
රාජ්‍ය අමාත්‍ය රණවීර පැවසුවේ තමන් රාත්‍රී 9.00 පමණ වනතුරු නිවසේ සිටි බවයි. මාලඹේ පිහිටි තම මවගේ නිවසට පිටත්ව ගිය බවත්ය.
අරගලය ව්‍යාපාරයේ සාමාජිකයන් විසින් හුණුපිටියේ පිහිටි තම නිවස විනාශ කළ දා සිට තමන් මාලඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි බව ඔහු පැවසීය.
“මට සීසීටීවී පටිගත කිරීම්වලින් එම දර්ශනය නැරඹිය හැකිය. මගේ පුතා පාසල් යන විට අපට ගැටලු කිහිපයක් තිබුණා. නමුත් ඒවා විසඳිලා දැන් විදේශ රටක ඉගෙන ගන්නවා”.



කර්මාන්ත අමාත්‍යාංශයට අයත් මෝටර් රථයකින් පැමිණ කිරිබත්ගොඩ දී උපකාර පන්තියක සිසුන් දෙදෙනකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්  රාජ්‍ය ඇමතිවරයාගේ පුතු 17 හැවිරිදි වෙනුක පසුගිය 2022 සැප්තැම්බර් මස අත්අඩංගුවට පත්විය.
ප්‍රසන්න රණවීරද 2018 වසරේදී නිදහස් පක්ෂ අපේක්ෂකයෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට පත්වූ අතර 2018 අග භාගයේ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කලහ ඇතිකළ සිද්ධි වලදී ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය.
2022 මැයි අරගල සමයේ මොහු සතු දේපළ විශාල ප්‍රමාණයක් ගිනිබත් විය.