pyramid-central-bank

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමාගම් 8 ක් බැංකු පනත උල්ලංඝනය කරමින් පීරමිඩ යෝජනාක්‍රම ක්‍රියාත්මක කරන බව ශ්‍රි ලංකා මහ බැංකුව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත. ඒ අනුව මෙම පිරමිඩ සමාගම්වලට එරෙහිව බැංකු පනතේ 83 (ඇ) වගන්තිය යටතේ අපරාධ නඩු පවරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ටියන්ස් ලංකා හෙල්ත් කෙයාර් පුද්ගලික සමාගම, බෙස්ට් ලයිෆ් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම,  ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා පුද්ගලික සමාගම, මාර්ක් වෝ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම, වී.එම්.එල්. ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම, ෆාස්ට් ත්‍රි සයිකල් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම, ස්පෝර්ට්ස් චේන් සමාගම සහ ඔන්මැක්ස් ඩීටී යන සමාගම් බැංකු පනත උල්ලංඝනය කරමින් පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියත්මක කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබුණු පැමිණිලි මත මෙම සමාගම් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරමින් 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කර ඇත්දැයි සොයා බැලීම සඳහා මහ බැංකුව විමර්ශන කර ඇත.

තහනම් පිරමිඩ යෝජනාක්‍රම ක්‍රියාත්මක කරන බවට හඳුනාගෙන ඇති සමාගම් අතරින් ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගමට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර, ඔන්මැක්ස් ඩීටී සමාගමට එරෙහිව ගොනු කර ඇති චෝදනාව වන්නේ ඇමෙරිකානු ඩොලර් කෝටි 10 කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවීමයි. ඔන්මැක්ස් ඩීටී සමාගමට අයත් ඇමෙරිකාවේ බයිනෑන්ස් මූල්‍ය සමාගමේ ගිණුම් 8ක් මාස 6 ක කාලයක් සඳහා අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට පසුගිය අප්‍රේල් මස 19 වැනිදා නියෝගයක් නිකුත් කරන ලදි.

ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගම පිළිබඳ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කළ වැඩිදුර විමර්ශන වලදී එම ගිණුම්වල අතත්‍ය මුදල් ලෙස රුපියල් කෝටි 43 කට අධික මුදලක් තැන්පත් වී ඇතැයි අනාවරණය වී ඇත.

නොව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සිවු දෙනකු වන සම්පත් සඳරුවන්, කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ගයාන් යන අය ඇතුළුව අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත. ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගම මෙරට ගනුදෙනු සඳහා යොදාගත් ලංකා බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, නේෂන් ට්‍රස්ට්, සෙලාන් බැංකුව සහ පීපල්ස් ට්‍රස්ට් යන බැංකු හා මුල්‍යායතනවල අදාළ සමාගම නමින් තිබූ බැංකු ගිණුම් 57ක් ද මේ වන විට අධිකරණ නියෝගයෙන් අත්හිටුවා ඇත.

එසේම ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගමේ හිමිකරු කවුරුන්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇමෙරිකාවේ පිහිටි පරිගණක සේවා කළමනාකරණ සමාගමක් වන නේම්විප් සමාගමට නියෝගයක්ද නිකුත් කරනු ලැබ ඇත. මෙවැනි බැංකු පනත උල්ලංඝනය කරන ආයෝජන ක්‍රම ආරම්භ කිරීම, ඒවාට සම්බන්ධ වීම හෝ සම්බන්ධ වීමට ආරාධනා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී ඇත.වසර තුනකට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් දස ලක්ෂයකට නොවැඩි දඩයක් හෝ ඒ දෙකම මෙවැනි වරදකට වරදකරු වන පුද්ගලයකුට දඬුවම ලෙස නියම  කිරීමට අධිකරණයට බලය තිබෙන බව මහ බැංකුව සඳහන් කර ඇත.

විමුක්ති එස් රුද්‍රිගු