raddoluwa-incident

සීදුව, රද්දොළුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු හතරක් වයසැති ඥාති දියණියකගේ ගෙල සිරකර ඝාතනය කර එම ඝාතනය කළේ යැයි කියන පුද්ගලයා ද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇතැයි සීදුව පොලිසිය පවසයි. එසේ ඝාතනය කරනු ලැබ ඇත්තේ සත්සරණි ප්‍රනාන්දු නමැති දැරියකි. ගෙල වැල දමාගෙන දිවි නසාගෙන ඇත්තේ රද්දොළුව කොටුගොඩ පදිංචිව සිටි ආර්.ටී. මිල්රෝයි ප්‍රනාන්දු නමැති හතළිස් පස් හැවිරිදි අයෙකි.

ඔහු කුලී වැඩකර ජීවිකාව ගෙන ගිය තැනැත්තෙකි. සැකකරු මෙවැන්නක් කිරීමට හේතු අනාවරණය වී නොමැති බව ද පොලිසිය  කියයි.

මිල්රෝයි නමැත්තා ගෙල සිර කර මරා දමා ඇත්තේ ඔහුගේ අයියාගේ දියණියක බව ද පොලිසිය සඳහන් කරයි. මරා දමනු ලැබූ දැරිය ඇගේ මවුපියන් සමඟ රද්දොළුව, සාම මාවතේ පිහිටි ඔවුන්ගේ මහ ගෙදර පදිංචිව සිටිය දී එම නිවස බැංකුවට සින්න වීම හේතුවෙන් ඔවුන් කුලී නිවසකට පදිංචියට ගොස් ඇතැයි පොලිසිය කියයි.  දැරියගේ මවුපියන් කුලී වැඩට යන අවස්ථාවල දැරිය රැකබලාගෙන ඇත්තේ මෙම මිල්රෝයි නැමැත්තා බව ද පොලිසිය සඳහන් කරයි. දැරියගේ මවුපියන් පෙරේදා (26) සුපුරුදු පරිදි කුලී වැඩට පිටත්ව ගිය පසු මිල්රොයි නමැත්තා බැංකුවට සින්නව තිබූ මහ ගෙදරට එම දැරිය ද කැටුව ගොස් දැරියගේ ගෙල මිරිකා ඝාතනය කර පසුව ඔහු ද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇති බව පරීක්ෂණ වලින් හෙළි විණි යැයි උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය