rajanganaye-thera-in-trouble

ආගමික සහජීවනයට සහ ජාතික සංහිඳියාවට බාධා ව න ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් තුනක රුපියල් කෝටි 6කට අධික මුදලක් තැන්පත්ව තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ ඊයේ (07) කරුණු වාර්තා කරමින් සදහන් කළේය.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න මහතා අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, මෙම හිමිනම සම්බන්ධයෙන් අධිකරණ නියෝග ප්‍රකාරව බැංකු ගිණුම් 12ක් පරීක්ෂාවට ලක් කළ බවත් ඉන් තුනක වාර්තා ලැබී තිබූ බවත්ය.මෙම හිමිනම මින් ඉහතදී සිදුකර ඇති ප්‍රකාශ හේතුවෙන් ජනතාව අතර අසමගියක් සිදුව ඇති බවටත් ඒ නිසාම ඇතැම් ප්‍රදේශ උන්වහන්සේට තහනම් කලාප කර ඇති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.



සැකකාර හිමිනම කරන මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව නොමැති අතර, මේ පිටුපස යම් සංවිධානාත්මක පිරිසක් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව ද විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. සැකකාර හිමිනම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායක හිමියන් දානශාලාවක්, විහාර ගෙයක් ගොඩනගා ඇති අතර, දරුවන් 342දෙනකු රඳවා සිටින දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බවත්ය.

උන්වහන්සේගේ විහාරස්ථානය පිහිටි ගම්මානයේ අවමංගල්‍යයක් සිදුවුවහොත් ඒ නිවසකට රුපියල් හැත්තෑදහසක මුදලක් ලබා දෙන බව ද නීතිඥවරයා සඳහන් කළේය. මෙම හිමියන්ගේ ගිණුම්වලට මේ පුණ්‍ය කටයුතු සිදුකිරීම සඳහා එංගලන්තයේ ජීවත්වන දායකයකු මෙම මුදල් ලබා දී ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උන්වහන්සේට නගා ඇති චෝදනාව වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත උල්ලංඝනය කිරීමක් මෙම ප්‍රකාශවලින් සිදු වී නොමැති අතර මෙම පනතින් උන්වහන්සේට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකළ නොහැකි බව ද නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.



ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, සැකකාර හිමිනමට එරෙහිව නගා ඇති චෝදනා සම්බන්ධයෙන් විරෝධතා ඇතොත්, එය ලබන 14 වැනිදාට ඉදිරිපත් කරන ලෙසට නියම කරමින් සැකකාර හිමිනම ලබන 21 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. සැකකාර හිමිනම අධිකරණය හමුවට ඊයේ (07) ඉදිරිපත් නොකළ අතර, බන්ධනාගාරය ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරු මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කළේය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත, පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය ප්‍රකාරව සැකකාර හිමිනම දඬුවම් ලැබිය යුතු වැරදි කළැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත භාරයට පත්කර ඇත. මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසිනි.

නිමන්ති රණසිංහ